අශන්ති වරුනසුරිය
ගන්නෝරුව වැල් පාලම සිට පේරාදෙණිය පාලම දක්වා වු ප්‍රදේශය තුල අනවසර මෙන්ම අවිධිමත් ආකාරයේ පරිසර බලපත්‍ර නොමැති ආයතන 12ක් හදුනා ගෙන ඇත.
අදාල ආයතන අනවසර ලෙස ඉදිකිරීම් කළ ඇති බවත්, ඝන අපද්‍රව්‍ය ගඟට බැහැර කිරීම, අප ජලය ගඟට බැහැර කිරීම ඇතුළු නිතී විරෝධි කටයුතු වල නිරත වෙමින් සිටින බවත්, පරිසර බලපත්‍ර ද නොමැතිව කටයුතු කරමින් සිටින බව මෙහිදී අනාවරණය කර ගෙන ඇත.
එමෙන්ම මහනුවර නගරයේ 45,000 කට අධික වු ගොඩනැගිලි සියල්ල පරීක්ෂා කර බලා ඒවායේ විධිමත් අවිධිමත් භාවය සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදුකරන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී ඇත. මහනුවර භූවැලිකඩ ඇතිවු ඛේදනීය සිදුවීමත් සමග එවන් සිදුවීමක් යළි මහනුවර නගරය තුල ඇති නොවීමේ අරමුණින් ආණ්ඩුකාරවරාය මෙලෙස ගොඩනැගිලි පරීක්ෂාවක් සිදුකිරීම සදහා උපදෙස් ලබාදී තිබේ.
සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ බීමට ගත හැකි මට්ටමෙන් ගංගා සංවර්ධනය කිරීම අරමුණු වී ඇති බවත්, මෙවැනි නීති විරෝධි මෙන්ම පරිසරයට අපද්‍රව්‍ය මුදාහරින ආයතනයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන එම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කර ගත නොහැකි වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මේ ගැන අදහස් දක්වමින් කලම්බෝ ගැසට් සමඟ පැවසුවේය.
එමෙන්ම පරිසර බලපත්‍ර නොමැති ව්‍යාපාර ස්ථාන සහ ගොඩනැගිලි වලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් , මෙවැනි නීති විරෝධි කටයුතු වල නියැලෙන පුද්ගලයින්ට නීතියේ රැහැනෙන් මිදී යා නොහැකි පරිද්දෙන් පවතින නීතී රීති වල සංශෝධන සිදු කළ යුතුව පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසීය.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ පරිසරය සුරක්ෂිත කරමින්, ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමේ අරමුණින් යුතුව මධ්‍යම පරිසර අධිකාරියේ මුලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන යටතේ ගංගා සුරකිනු වස් බොහෝ වැඩසටන් ක්‍රියාත්මක වේ.
එළඹෙන මාර්තු 22 වැනි දා මැණික් ගඟ අසබඩ කතරගම පූජා නගරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ප්‍රධාන වැඩසටහන පැවැත්වීමට නියමිතය. එහි පළාත් උත්සවය මහනුවර ගන්නෝරුව මහවැලි ගඟ අසලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව ගන්නෝරුව ප්‍රදේශය තුල මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඇත.