තොරතුරු ඉල්ලා ප‍්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු අභියාචනාධිකරණයට

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලු තොරතුරු ලබා නොදීමට එරෙහිව පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

පසුගිය රජය විසින් උක් වගාව සඳහා පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත‍්‍රික් මායිම් වන පරිදි ඉඩම් අක්කර 60,750ක් විදේශීය සමාගමක් වෙත ලබා දීමට ගෙන ඇතැයි කියන තීරණයක් සම්බන්ධයෙන් මෙම මාධ්‍යවේදියා තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා ඇත.

පොළොන්නරුව ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රාදේශීය මාධ්‍යවේදී S.M මනෝජ් මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය රජය විසින් ශ්‍රී ලංකාව සීනි වලින් ස්වංපෝෂිත කරන බවට කැබිනට් තීන්දුවක් ගත් බවය.

ඒ අනුව සීනි කර්මාන්තය වෙනුවෙන් උක් වගා කිරීම සඳහා පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත‍්‍රික් මායිම් වන පරිදි ඉඩම් අක්කර 60750 ක් රජය විසින් විදේශීය සමාගමකට පවරා දුන් බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද පෙත්සම්කරු කියා සිටී.

එසේ පවරන ලද ඉඩම් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදෙන මෙන් තමා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙතින් ඉල්ලීම් කළත් එම තොරතුරු ලබා දීම අදාල අධිකාරිය විසින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දී ඇත.

ඊට එරෙහිව තමා තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කළත් එම කොමිසම විසින් ද තමන්ට සාධාරණයක් ඉටු නොකළ බව පෙත්සම්කරු කියා සිටී.

එබැවින් තමන් විසින් ඉල්ලා සිටින සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස හා තොරතුරු ලබාදීම පැහැරහැර තිබෙන මහවැලි අධිකාරියට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත

තුන්වැනි දිනට අභියාචනාධිකරණයේදී විභාගයට ගත් මෙම පෙත්සමේ එක් වගඋත්තරකාර පාර්ශවයක් වන තොරතුරු කොමිසම අභියාචනාධිකරණය ඉදිරියේ කියා සිටියේ ඉල්ලීම් කල තොරතුරු අභියාචක හට ලබාදී තිබෙන බවයි.

ඒ පිළිබඳ පෙත්සමකරු සෑහීමකට පත් නොවන බව අභියාචනාධිකරණයට දැනුම් දුන් අතර එය පිළිගත් අභියාචනාධිකරණය මෙහි අනෙක් වගඋත්තරකාර පාර්ශවය වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියටද අභියාචනාධිකරණයේ පෙනීසිටින ලෙස නොතීසිය නිකුත් කරනු ලැබුවා.
නඩු විභාගය නැවත කැඳවීම මාර්තු මස 18 දාට කල් තැබුණි.

මෙලෙස තොරතුරු පනතට පවා තොරතුරු සඟවමින් සිදුකරන මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන උක් ව්‍යාපෘතිය හේතුවෙන් පීඩා විඳින විවිධ ජාතීන්ට අයත් ජනතාවක් සිටින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරින් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් වන චෙල්කල්අඩි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දමිළ කිරිගව පාලනය කරන කිරි ගොවින් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන තොරතුරු මත පදනම්ව සිදු කිරීමට යන උක් වගා හේතුවෙන් තමා ගවයින්ට අහිමිවන තණබිම් වල අයිතිවාසිකම් ඉල්ලා මඩකළපුව පලාත් බද මහාඅධිකරණයේ නඩු පැවරීමක් සිදු කොට තිබේ.
එම නඩු විභාගයද එළඹෙන මාර්තු මස 05 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.