සාර්ථක එන්නත්කරණ වැඩසටහන්වලින් පසුව කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ලොව පුරා රටවල් පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව එංගලන්තය ද එවැනි පියවරක් ගැනීමට සූදානම් වන බව වාර්තා වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අගමැති බොරිස් ජොන්සන් ඊට අදාළ සැලසුම ප්‍රකාශයට පත් කරමින් මාර්තු 8 වනදා සිට පාසල් යළි විවෘත කිරීමට පියවර ගනු ඇති බවය. එක්සත් රාජධානිය තුළ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට එන්නත ලබා දී අවසන්ය.
මේ අතර කොවිඩ් යළි උත්සන්න වෙමින් පවතින ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. ෆයිසර් කොවිඩ් එන්නත් හේතුවෙන් රෝහල්ගත්වීම් සහ මරණ අඩුව ඇති බවට ගවේෂණයකින් තහවුරුවීමෙන් අනතුරුව තම රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් තීරණය කර තිබේ. ෆයිසර් එන්නත 95.8%ක් සාර්ථක බව එම ගවේෂණයෙන් තහවුරු වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව අද සිට එරට කඩ සාප්පු, පුස්තකාල සහ කෞතුකාගාර විවෘත කිරීමට අවසර දී ඇති අතර සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ. ඊශ්‍රායලය ලොව මෙතෙක් ඉහළම එන්නත්කරණ වේගයක් වාර්තා කර ඇති රට වෙයි. එහි ජනගහණයෙන් 49%කට එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත. කොවිඩ් වෛරසය යළි පැතිරීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් 27 වනදා සිට තෙවැනි වරටත් වසා දැමිණි. රට තුළ සංචරණ සීමා ලිහිල් කළ ද එරට ගුවන්තොටුපොළ තවත් සති දෙකක් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.
නමුත් කුවේට් රාජ්‍ය වෙත එරට පුරවැසියන් හැර වෙනත් පුද්ගලයින්ට ඇතුළු වීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව කුවෙට් ජාතිකයින් නොවන පුද්ගලයින්ට එරටට ඇතුළු වීම තවදුරටත් තහනම් වේ. කුවෙට් රාජ්‍යයෙන් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් 183,322 ක් වන අතර මරණ 1039 ක් සිදුව තිබේ.