මඩකලපුව ඩෙංගු අධි අවදානමේ

අශන්ති වරුනසුරිය

ඩෙංගු රෝගීන්ගේ වාර්තා වන ප්‍රමාණය වැඩි වෙමින් පතින අතර ඒ අනුව වාර්තා වන දත්ත වලට අනුව වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි.

පසුගියදා වාර්තාවන්ට අනුව දිවයිනේ ඩෙංගු රෝගීන් දෙදෙහසකට අධික ප්‍රමාණයක් වාර්තා වන අතර එයින් සියයට 50කට වැඩි පිරිසක් වාර්තා වන්නේ මඩකලපුවෙනි. මඩකලපුව ඩෙංගු වැඩිවීමට හේතුවූ කරුණු රැසක් මේ විට සොයා ගෙන ඇත. මීට ප්‍රධානතම හේතුව මඩකලපුව නගරසභාව සිය රාජකාරීන් පැහැර හැරීම බවත් ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා මඩකලපුව නගර සභාවෙන් ලැබෙන සහයෝගය ඉතා මන්දගාමී බවත් අදාල ප්‍රදේශයන්හි කැලි කසල ප්‍රශ්ණය උග්‍ර වීම තවත් හේතුවක් බවත් ඩෙංගු මර්දන සහායකයින් පවසති.

මේ චෝදනාව සම්බන්දයෙන් නරගසභාවේ සේවකයන්ගෙන් විමසු විට ඔවුන් පවසන්නේ ඩෙංගු මර්ධනයට අදාළ දුම් ගැසීම් මෙන්ම අනෙකුත් මර්ධන ක්‍රියාවලින් වලට අදාලව පහසුකම් නගරාධිපති ලබා නොදීම හේතුවෙන් සිය රාජකාරීන් නිසියාකාරයෙන් ඉටු කිරීමට නොහැකිවී ඇති බවය. ඒ අනුව නගරසභාවේ වැඩ කිරීමට ඇති නොහැකියාවත්, අදාළ පහසුකම් නගරාධිපති විසින් ලබා නොදීම සම්බන්දයෙන් නගරසභාවේ සේවයකන් පසුගියදා උද්ගෝෂණයක්ද දියත් කර අතර ඔවුන් නගරාධිපතිවරයා සම්බන්දයෙන් පෙත්සමක් ද ආණ්ඩුකාරවරියට ලබා දීමට කටයුතු කර ඇති බව එහි සේවකයකු කලම්බෝ ගැසට් අප සමඟ පැවසුවේය.

මේ පිළිබදව කලම්බෝ ගැසට් අප නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් මිය ගෙන් සිදු කල විමසීමේදී ඇය සදහන් කළේ මේ සම්බදයෙන් ඇය දැනුවත් බවත් නගරාධිපතිවරයාට අදාලව සේවකයන් විසින් යොමු කර ඇති චෝදනා සම්බන්දයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවත්ය. කෙසේවෙතත් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඩෙංගු මර්දනය වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවද ඇය පැවසුවාය. එමෙන්ම කැලිකසල බැහැර කිරීමේ දී එය ඉතා විධිමත්ව සිදු කරන ලෙස ජනතාවට දැනුම් දෙන ලෙසටද ආණ්ඩුකාරවරිය විසින් අදාල නිලධාරීන්ට දැනුම් දී ඇත.

වාර්තා වූ දත්ත අනුව ආණ්ඩුකාරවරිය විශේෂ රැස්වීමක් නැවත කැඳවා ඇති අතර එහිදී වෛද්‍යවරුන් විසින් මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට හේතු වූ කරුණු කාරණා රැසක් හෙළි කර තිබේ. එහිදී ද ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා මඩකලපුව නගර සභාවෙන් ලැබෙන සහයෝගය ඉතා මන්දගාමී බව වෛද්‍යවරුන් පවසා ඇත. එහිදී ආණ්ඩුකාරවරිය මඩකලපුව නාගරික කොමසාරිස් වරයාට ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමට කටයුතු කරන ලෙසට නියෝග කර ඇත.

නමුත් වාර්ෂික දත්ත සමාලෝචනයේදී 2019 වසරට සාපේක්ෂව ඉකුත් 2020 වසරේ මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 70 කින් පමණ අඩු වී ඇති අතර 2019 වසරේදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන එක්ලක්ෂ 5,049කි. පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 30,960 දෙනෙකු පමණ වේ.
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.