කිසිවෙකුට ජාතීන්ගේ බැදීම විනාශ කිරීමට ඉඩ නොදෙන බව අධිකරණ ඇමති පවසයි

අපි එකිනෙකා වෙනස් ආගම් ඇදහුවත් සියලු දෙනා තුළ මනුෂ්‍යත්වය ශ්‍රී ලාංකිකත්වය පැවතිය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මයා පවසයි.

රටක් ලෙස ඉදිරියට යාමට නම් ශ්‍රී ලාංකීක සංස්කෘතිය සිත්හි පැවතිය යුතු බවත්, සියලු දෙනා තුළ ආත්ම විශ්වාසය එකිනෙකා අවබෝධ කර ගැනීමේ හැකියාව පැවතිය යුතු බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සීයයට 99 කට වඩා වන ජනතාවට එකට එක්ව සමගියෙන් ජීවත්වීමේ අවශ්‍යතාවය පැවතිය ද සුළු ජාතීවාදී පිරිස් සිටිය හැකි බවත්, එක මවකගේ දරු කැළ බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැලලා නමෝ නමෝ මාතා මේක අපි උදේම කියලා විතරක් මදි එම ජාතික ගීයේ එන පණිවිඩයට අනුව අපි යා යුතු බවත්, එකිනෙකා අතර බෙදීම් ඇති කිරීම පහසුවෙන් කළ හැකි වුවද අපි කළ යුත්තේ මිනිසුන් බෙදීම නොව එකතු කිරීම බවත් ,මිනිසුන් එකතු කිරීම ඉතා අපහසු කටයුත්තක් වුව ද කළ යුතු වන්නේ එය බවත් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.

ශ්‍රී ලාංකීය මුස්ලිම් අනන්‍යතාවය පෙන්නුම් කරමින් ජීවත් විය යුත්තේ කෙසේ ද යන්න පෙන්නුම් කළ හැකි සන්නාම තානාපතිවරියකගේ කාර්ය කළ හැකි දිරිය දියණියක් ලෙස ශුක්රා මුනව්වර් දියණිය හැදින්විය හැකි බවත්, අධ්‍යාපනය තුළින් ඉදිරියට යාමේ ශක්තිය ඇයට පවතින බවත්, තමන් අතට තම අතමය සෙවනැල්ල යන්න හිතට ගෙන කටයුතු කිරීම ඇගේ ඉදිරි ගමනට වැදගත් බවත් සදහන් කළේය.

පසුගියදා පැවති ජනප්‍රිය රූපවාහිණී ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකින් ජයග්‍රහණය ලැබූ ශුක්රා මුනව්වර් සිසුවියගේ දක්ෂතා අගය කරමින් ඇය දිරිමත් කිරීමේ අරමුණින් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය ආධාර ලබාදීම ,එම දැරිය ඉගෙනුම ලබන පාසල වන ගාල්ල සුධර්මා විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබාදීම හා ශුක්රා මුනව්වර් සිසුවියගේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇගයීමේ විශේෂ උත්සවයක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යතුමා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.