නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් මන්ත්‍රීවරියෝ සටනට

ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

පොලිස් ළමා හා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවද එම සංසදයේ සභාපතිනි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
පැවසුවාය.

මෙහිදී සභාපතිවරිය පෙන්වා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීම පිළිබඳව තම සංසදය ඉතා සතුටට පත් වූ බවත් එය බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස්ම තනතුරකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවයට හවුල් වීමක් ලෙස සලකන බවත්ය.

නමුත් ඇයට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තම අප්‍රසාදය පල කරන අතරම ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගනු ලබන්නේ නම් ඔවුන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබියයුතු බවත් මෙතරම් දියුණු ලෝකයක කාන්තාවක් වීම නිසා ම යම් ක්ෂේත්‍රයක් අතික්‍රමණය කිරීමේ අවස්ථාව අහිමි කිරීමට උත්සහ දැරීම ඉතා අසාධාරණ බව මෙහිදී මන්ත්‍රීවරියෝ කියති.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ප්‍රකාශ කළේ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ නියෝජ්‍ය පොලිස්පතිනි තනතුර අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතු වලට යම් පිරිසක් එළඹ සිටීම පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු කාත්තා මන්ත්‍රීවරියන් විසින් හෙලා දකින බවත්,එයට එරෙහිව මේ රටේ සියලු කාන්තාවන් මෙන්ම තම දියණිවරුන්ගේ සාර්ථකත්වය බලාපොරෙත්තු වන සියලු දෙමාපියන්ද ඒකරාශී විය යුතු බවත්ය.

මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන රෝහිණි විජේරත්න මහත්මිය සඳහන් කළේ බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය තම රාජකාරි නිසි අයුරින් ඉටු කිරිම වෙනුවෙන් ඇයට හිමි උසස්වීම ලබා ගැනීමට එරෙහිව මේ රටේ පුරුෂ සමාජය කටයුතු කිරිම පිළිකුල් සහගත බවය. මේ ආකාරයට කාන්තාවන් හිංසනයට ලක් කිරීම රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමේදී විශාල බාධාවක් බවත් විශේෂයෙන් කාන්තාවන් සේවා ස්ථානයන් තුළ ශාරීරිකව හෝ මානසිකව පීඩාවට ලක් කිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.