ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් සඳහා ‘බුද්ධි හා ජාතික ආරක්ෂාව’ පිළිබඳ මාර්ගගත එක්දින වැඩමුළුවක් ඉන්දීය රජයේ පොලිස් පර්යේෂණ හා සංවර්ධන කාර්යාංශය (බීපීආර් සහ ඩී) විසින් පවත්වන ලද බව ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම පුහුණු වැඩසටහන් දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන අතර ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසිය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාමූහිකව හවුල් ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා අවධාරණය කළ අතර මෙම සන්දර්භය තුළ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කරන ලෙස ඉල්ලා සිටියේය.
තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා පවත්නා යාන්ත්‍රණය මහ කොමසාරිස්වරයා විසින් පැසසුමට ලක් කළ අතර විශේෂයෙන් සඳහන් කළේ මෑත මාසවලදී ශ්‍රී ලංකා සගයන්ගේ ඉල්ලීම පරිදි ඉන්දියානු ආරක්ෂක ඒජන්සි විසින් ඉන්දියාවට පලාගිය ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගත් බවයි.
ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ ලේකම් වී.එස්.කේ කෞමුදී මහතා වැඩමුළුව සංවිධානය කිරීම පැසසුමට ලක් කළේය.
විමර්ශන කටයුතුවලදී ඉන්දියාවේ සහාය පැතීමේදී ශ්‍රී ලාංකික ආයතනවලට අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුමේ විධිවිධාන භාවිතා කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.