රු.මි.10ක් වැය කරමින් මහරවෙල රජ ඇළ සංවර්ධනය කෙරේ

රුපියල් මිලියන 10 ක මුදලක් වැයකරමින් ඉදිකරනු ලබන මහරවෙල රජ ඇළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උළෙල වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ දොළුව මිල්ලගහමුල ප්‍රදේශයේදී පැවැත්විය.

මෙම මහරවෙල රජ ඇළ සංවර්ධනය කිරීම තුළින් කුඹුරු අක්කර 108 කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට අවස්ව හිමිවන අතර මින් ගොවි පවුල් සියයකට අධික සංඛ්‍යාවකට සෙත සැලසේ. මෙහි දිග කිලෝමීටර් 3.2 ක් පමණ වන අතර වර්ෂා කාලයේදී පැමිණෙන වැඩි ජල ප්‍රමාණය ඉවත් කරලීමටත් මෙම ඇළ මාර්ගය ආරක්ෂා කරගැනීමට මෙහි පිටවාන් යෙදීමට යෝජිතය.

1924 වසරේ දී අගබාගයේ ඔය හරස් කොට ආරම්බ කර ඇති මහවෙල රජ ඇළ මුල්ගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ මිල්ල ගහමුල ග්‍රාමසේවා වසම තුළ පිහිටා ඇත.

එහිදී අදහස් දැක්වූ රාරාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න,
මහවෙල කියන ප්‍රදේශය පසුකාලීනව මහරවෙල ලෙස වෙනස් වෙලයි තිබෙන්නේ. මෙහි කුඹුරු අක්කර 108 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. පසුගිය කාලවල අපි මේ ප්‍ර දේශවලට එන කොට ඔබ අහපු ප්‍රශ්නයක් තමයි මේ තිබෙන වාරි පද්ධතිය කවදද හදන්නේ කියලා. වගා කරන්න අවශ්‍ය ජලය ලබාදෙන්න කියලා. අප අද එය ආරම්භ කළා වගේම එය අවසන් කරල තමයි නැවත ආපස්සට හැරෙන්නේ. මේ මහරවෙල කියන්නේ හිටපුඅගමැති දී.මූ ජයරත්න මහතාට ගම් සභාවේ සිට රටේ දෙවැනි පුරවැසියා දක්වා එන ගමනට විශාල ශක්තියක් වුණ ජනතාවක් ජීවත් වෙන ගමක් ලෙස මට පෙන්වා දිය හැකියි. අපේ ගෞරවය මේ ප්‍රදේශයට හැමදම තිබෙනවා.

අද මේ රටේ ජනතාවට පාරට බැහැලා ඇළ හදන්න, පාර කොන්ක්‍රීට් කරන්න කියලා ඉල්ලන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සඳහා අවශ්‍ය වැඩකොටස මේ රජය සිදුකරමින් ඉන්නවා. ගම සමග පිළිසදරක් වැඩසටහන හරහා ගමින් ගමට ගොස් ජනතාව එක්ක කතා කරලා ඒ අයට අවශ්‍ය දේයි මේ රජය ලබාදෙන්නේ.

මේ ඇළ ලැබිලා ඔබ දෙකන්න වගා කරන කොට ඒ භෝග වලින් අපේ රට ස්වයංපෝෂිත වෙලා ආර්ථිකට ශක්තිමත් කරන්න හැකියාව ලැබෙනවා. අපට දෙපයින් නැගී සිටින්න ශක්තිය ලැබෙනවා. ඔබ ඒ බලාපොරොත්තුවෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයව ජනාධිපතිවරයා බවට පත්කර ගත්තේ. මේ ව්‍යවස්ථාවෙන් හදන්න බැහැ කියපු තුනෙන් දෙකේ බලය පවා ඔබ ලබාදෙන් කටයුතු කළේ අප ගැන තිබුණ විශ්වාසය නිසයි.

ඔබ තැබූ විශ්වාසය දවසින් දවස ඉටු වෙමින් තිබෙනවා. ඒ වගේම ගම්පොළ ආසනය ගත්තත් මේ දවස් ටිකේ සුවිශේෂී වැඩකොටසක් කරන්න හැකියාව ලැබිලා තිබෙනවා. අපි අගෝස්තු මාසයේ ආණ්ඩුව අරගෙන ඒ කෙටි කාලය තුළ රජයක් ලෙස විශාල වැඩකොටසක් කරන්න සමත් වෙලා තිබෙනවා. ජුනි, ජූලි වෙනකොට ඔබේ අතට මුදල් ලැබෙන කොට, ඔබ බලාපොරොත්තු වෙන රට දැකගත හැකිය. අපට අවශ්‍ය මුලින්ම මේ කොරෝනා වයිරසයෙන් ජනතාව බේර ගැනීමයි. එහෙම නැතුව වෙන රටවල් වගේ දවසට දෙකට දහස් ගණනක් මැරෙන්න ගත්ත තම් කිසිවෙකුට ආර්ථිකය, සංවර්ධනය ගැන කතා කරන්න ලැබෙන්නේ නැහැ. රටෙත් ජනතාවත් ආරක්ෂා වෙමින් සංවර්ධනය සිදුවෙන්නේ ඔබ විසින් නිවැරැදි ආණ්ඩුවක් පත්කර ගත්ත නිසයි. නිවැරැදි නායකයන් පත්කර ගත්ත නිසයි. ඒ වගේම ඔබ ගත්ත නිවැරැදි තීන්දු තීරණ නිසයි ගම හැදෙන්නේ ඔබේ නගරය හැදෙන්නේ. එම නිසා මම පොරොන්දු වෙනවා ඉදිරියටත් ඔබේ අවශ්‍යතාවයන් පෙනුවෙන් හැමදාම පෙනී සිටිනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.