දශක හතරකට ආසන්න කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද 39 වැනි සංවත්සරය සමරයි. ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලොවට ගෙනයමින් ජාතික රූපවාහිනිය ඉටුකරන යුග මෙහෙවර එදා මෙන්ම අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වේ.
දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ප්‍රේක්ෂකයන්ට එදා මෙදා මෙන්ම මතුදා ද තිළිණ කරන්නේ හරවත් වැඩසටහන්. පසුගිය වසරේ පැවති රූපවාහිනී සම්මාන උළෙලවල දී සම්මාන රැසකින් පිදුම් ලැබීමට ජාතික රූපවාහිනිය සමත් විය. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබුවේ ද ජාතික රූපවාහිනියයි.
ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමෙන් පසු පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශ ආරම්භ කෙරුණේ, 1982 වසරේ පෙබරවාරි 15 වැනි දිනකය. මෙරට රූපවාහිනී ක්ෂේත්රයේ පුරෝගාමියා වෙමින් ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තයික් හඳුන්වා දුන්නේ, ජාතික රූපවාහිනිය වේ.
ශ්‍රී ලංකාවේ නිල විද්‍යුත් සන්නිවේදකයා ලෙස සමාජ ප්රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙක් කැපවී සිටියි.
ප්‍රේක්ෂකයන්ගේ ඉහළ රසඥතාව වෙනුවෙන් ජාතික රූපවාහිනිය,චැනල් අයි,නේත්‍රා යන නාලිකා තුනක් ඔස්සේ වැඩසටහන් විකාශය කෙරේ. සිංහල,දෙමළ,ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම,වැඩසටහන් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂයෙන්ම ජාතික හා ජාත්‍යන්තර සජීව විකාශයන්හි එදා මෙන්ම අදත් නියමුවා සහ ප්රමුඛයාය.
ජනකොටස් අතර අන්‍යෙන්‍ය ගෞරවය, සුහදතාව හා විශ්වාසය ශක්තිමත් කිරීමට කැපවී සිටින ජාතික රූපවාහිනිය රටේ සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන් ද ඉටුකරමින් සිටින බව එම ආයතනය පවසයි.
දිවයිනේ වැඩිම ආවරණ කලාපයක් හිමි සන්නිවේදකයා වන්නේ ද ජාතික රූපවාහිනියය. නවීන තාක්ෂණයෙන් යුත් මේ ආයතනය සතු වටිනාම සමීපත නිර්මාණශීලී, නිසඟ හැකියාවන්ගෙන් පිරිපුන් නිෂ්පාදකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය බව ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවසයි.