විමල්ගේ මීළඟ ජනාධිපති මෙහෙයුමට ජාත්‍යන්තර සහය

ඉන්දික ශ්‍රී අරවින්ද

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සහ ආණ්ඩු බලය තමා සතු කරගැනීමට අමාත්‍ය විමල් විරවංශ මහතාගේ සුදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා තමාට හිතවත් දේශපාලන පක්ෂ 12කගේ සහය ලබා ගෙන මීළඟ ජනාධිපති වීමටත්,ආණ්ඩු බලය ලබා ගැනීමටත් අවශ්‍ය පසුබිම සැකසීම මේ දිනවල ක්‍රියා කරමින් පවතී.
පසුගිය දෙසැම්බර් (31)වැනිදා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කළේ රටේ මීලඟට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බවත් එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත්ය.
ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.
ඔහුගේ කේන්දරය ද තමන් සතුව ඇතැයි පවසන ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ ගැන දැනුවත්ව ඇතැයි ඔහු දැඩි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරයි.
ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙයට පෙරදී හිටපු අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක,හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස,හිටපු ජනාධිපති ඩී.බී.විජේතුංග,හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන රාජ්‍ය නායකයින්ගේ සියලු ජ්‍යෙතිෂ්‍ය කටයුතු සිදුකරනු ලැබුවේය.
ඇතැම් විට ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අනාවැකි පළකර ඇත්තේ මේ කියන දේශපාලඥයා විමල් වෙන්න බැරිද?කියලා යම් සැකයකුත් පවතී.
එබැවින් ඔහු විසින් කියන අනාවැකිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නොදැන ඉන්න විදිහක් නොමැත.
2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරදුනොත් වෙඩි තියා ගන්නා බවට ප්‍රකාශ කරනු ලැබුවේ ද ඔහුය.

විමල්ගේ පළමු උරඟා බැලීම

අමාත්‍ය විමල් විරවංශ මහතා ඇතුළු දේශපාලන නායකයින් ප්‍රථම වරට රැස්වුණේ පසුගිය ජනවාරි (30) වැනිදා විමල් විරවංශ මහතාගේ කොළඹ පිහිටි නිළ නිවසේදීය.
ඒ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට එරෙහිව සටනේ පෙරමුණ ගනිමින්ය.
එහිදී නැගෙනහිර ජැටිය ලබාදීම සම්බන්ධයෙන් එන ඕනෑම කැබිනට් පත‍්‍රිකාවක් පරද්දන්න ඒකමතික තීරණයකට එළඹුණි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ කවර හෝ පියවරකට ආණ්ඩුව ගමන් කරනවා නම් එයට විරුද්ධ විය යුතුය, යන ඒකමතික ස්ථාවරයට ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10ක නායකත්වය පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී ප්‍රකාශ කරන ලදී.
එම පක්ෂ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ නායකයන් ඒ අතර සිටියහ.
මෙහිදී එම පක්ෂ 10ට අමතරව තවත් පක්ෂ 04කට ඇරයුම් කළ අතර ඉන් පක්ෂ 03ක් ‘ප්‍රායෝගික හේතූන් මත එන්න බැහැ’ කියා දැනුම් දුන් බව විරවංශ මහතා ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන පිරිස මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එහිදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම වලක්වා ගැනීමට හැකිවීම ඔවුන් ලැබූ ප්‍රථම ජයග්‍රහණය වෙයි.
කෙසේ නමුත් වත්මන් රජය හා ජනාධිපතිවරයා කිසිම කෙනෙකුගේ බලපෑමට යටත් නොවන බවද පැවසූ ඔහු රට සංවර්ධනය කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමට යටත් වී නොවන බවද කියා සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බවයි.
වීරවංශ මහතාට කැබිනට් සාමුහිකත්වය මත පිහිටා කටයුතු කළ යුතුව තිබූ බවත් තමන් සමාජය ඉදිරියේ වීරයන් වීමට පුද්ගලයන් උත්සාහ කිරීම ආණ්ඩුවේ යහපැවැත්මට එතරම් සුබවාදී නැතැයි ද මෙහිදී ඔහු කියා සිටියේය.

විමල්ට විදේශයන්ගෙන් සහය ලැබෙන බවට ඉඟියක් ?

පසුගිය (09) වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ “අද මම හෙළි කරනවා දොස්තර මහත්වරු දෙන්නෙක් ඉන්නවා ඒ එක්නෙක් විදේශ වැටුප් ලබන කෙනෙක් යැයි පැවසිය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගයන් පිටුපස චීනයද සිටින බවට විවිද කට කතා පැතිරුණ අතර එය කරළියට නොපැමිණෙන තරමට සුක්ෂම විය.
එහිදී එක්තරා වෘත්ත්තී සමිති නායකයකු ප්‍රකාශ කළේකොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට එරෙහිව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට චීනය යම් යම් වරප්‍රසාද ලබා දී ඇති බවයි.
ඒ අනුව රජයේ අමාත්‍යවරුන්ගේ මෙම විරෝධය ඉහළ නායකත්වය දැනුවත්ම සිදුකර ක්‍රියාදාමයක් නිසා එතරම් කළබල නොවිය යුතු බවය.

විමල්ගේ පුවත්පත් ප්‍රකාශය දේශපාලන කරළිය උණුසුම් කරයි

එයින් පසු පුවත් පතකට ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන විමල් විරවංශ අමාත්‍යවරයාගේ දේශපාලන භූමිකාව යළිත් උණුසුම් ස්වරුපයක් ගෙන ඇත.
මේ සිද්ධීන් දෙස බැලු කළ හිතෙන්න පුළුවන් රටේ වෙනත් ප්‍රශ්න යට ගැසීම සඳහා මේ දේශපාලන භූමිකාව රඟ දක්වන බවයි.
සැබවින්ම එය එසේ නොවෙන්නත් පුළුවන.
විමල් විරවංශ මහතා විසින් පුවත්පතට ලබා දුන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පසුගිය (08) වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බවය.
පසුගිය දිනවල ඇතිවු විවිධ ප්‍රකාශ සහ වාර්තා අප සමඟ කටයුතු කරන පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්‍ ජනතාවට කිසියම් හෝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකීමට අවශ්‍ය යැයි ඔහු පැවසිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාමත් දැඩි විනයක් සහිත කටයුතු කරන පක්ෂයක්. අපේ පක්ෂයේ වැරදි කර කිසියම් පුද්ගලයෙක් හෝ දේශපාලඥයෙක් හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙක් වේවා අප පක්ෂයක් හැටියට ඒ පුද්ගලයින්ට විනය මාර්ග ගත්තා.
ඒ වගේම අපේ පක්ෂයේ විනය පත්වාගෙන යන්න කටයුතු කරා. අපි පක්ෂයේ විනය පක්ෂයේ මහලේකම්වරයා වන මටත් අදාළයි. එය සැමට අදාලයි. ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජනතාවට අවශ්‍ය ඒ විනය ගරුක රටට ආදරය කරන පක්ෂය බිහිකිරීම තමයි පක්ෂයට නායකය දුන් මහින්ද රාජපක්ෂ මහතාත් මේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේත් මූලික අභිප්‍රාය වුණේ.
අපි බොහෝම කළගුණ දන්නා පක්ෂයක්. මේ පක්ෂයට නායකත්වය දුන්නේ මේ පක්ෂයේ ශක්තිය වුණේ හදවත වුණේ මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතයයි.
නමුත් පසුගිය (07) වැනිදා ඉරිදා පුවත්පතක විමල් වීරවංශ මහතා කර ප්‍රකාශයක් මත අපි පක්ෂයක් හැටියට යුතුකමක් හා වගකීමක් තියෙනවා විමල් විරවංශ මහතාට පෙන්නලා දෙන්න එතුමා ඉන්නේ කොතැනද අපි ඉන්නේ කොතැනද කියලා.
විමල් වීරවංශ මහතා එම පුවත්පතට ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ගෝඨාභය ජනාධිපතිතුමා භාර දිය යුතුයි කියලා.
මේ එතුමාගේ පක්ෂය නෙවේ. එතුමාට තීරණය ගන්නත් බෑ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නත් බෑ. දේශපාලනයේදි වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනට පත්වෙන්න පක්ෂයක් ලෙස සූදානම් නොමැති බවයි.
විමල් විරවංශ මහතාට අපේ පක්ෂයේ නායකත්වය පිළිබඳව කතා කරන්න බෑ. නායකත්වය වෙනස් කරන්න කියනන් සදාචාරාත්මක නෑ. පක්ෂයේ හැටියට අසතුටට පත් වෙනවා. එතුමා කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් නිසා ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන යැයි සාගර කාරියවසම් මහතා පවසා තිබේ.

ආණ්ඩුවට එරෙහිව තවත් බලවේගයක් ඇති බව විමල් පෙන්වයි

කලින් අවස්ථාවේදී ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ 10ක් වුවත් මෙම සටනේදී ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ 12ක් දක්වා වැඩිකර ගැනීමට ලැබීම නිසා වෙනම ජනතා බලවේගයක් ගොඩ නැගීමට හැකියාවක් පවතින බව ඔවුන් පෙන්වයි.
මෙම අවස්ථාවේදී දෙවන වරටත් කොළඹ පිහිටි අමාත්‍ය විමල් විරවංශ මහතාගේ නිල නිවසේදී පසුගිය (11) වැනිදා රැස්විය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට මෙම හමුව කැඳවා ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය බලයට ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කැපවීමක් කළ අමාත්‍ය විමල් විරවංශට එරෙහිව කටයුතු කරන පුද්ගලයින් කලගුණ නොදත් අයවලුන් බවත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මතක් කර දීමට රටේ ගරුතර සංඝරත්නය ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට සිරස නමා ආචාර කරන බවද ප්‍රකාශ ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියහ.
එම අවස්ථාවට දේශපාලන පක්ෂ 12ක නියෝජිතයින් සහභාගි වී ඇති අතර එම පිරිස අතර කැබිනට් අමාත්‍යවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද වෙයි.
මෙහිදී පක්ෂ නායකයන්ගේ පක්ෂ මූලස්ථානවල සතිපතාම රැස්වෙන්න තීන්දු කර ඇති අතර පවතින දේශපාලන ගැටලු ගැන සාකච්ඡා මෙහිදී සාකච්ඡා කෙරෙන බව එම රැස්වීමට සහභාගි වූ දේශපාලන පක්ෂ නායකයෙක් පැවසුවේ.
ඒ කෙසේ වෙතත් මෙම පක්ෂ නායකයන්ගේ තවත් රැස්වීමක් ලබන 25 වැනිදා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ මෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂ මෙසේ කොටස් වශයෙන් බෙදී මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී ජනාධිපති මෙන්ම අග්‍රාමාත්‍යවරයාත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සැකසහිතයි.

මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව කරළියට

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපති පුටුවට ඉතා පැහැදිලිව සුදුසුකම් ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මහතා මෙරට රාජ නායකත්වය සඳහා දිනක ඉදිරිපත් වන්නේ නම් බහුතර ජනතාවත් සමග පාරට බැසීමට පසුපෙළ මන්ත්‍රීවරු ලෙස පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවක් බිහි නොකලේ නම් අද ආණ්ඩුවක් නැති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
පසුගිය (14) වැනිදා උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ “දේශපාලනයේ ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන” බවත්ය.
‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවට මූණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්දෙද්දි ඒකෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුවටත් අපි මුහුණ දුන්නා.
2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මූණ දුන්නා.
සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ’ යනුවෙ අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.