සමාජ මධ්‍යයේ සංසරණය වන වීඩියෝව ඉවත් කරගන්නා ලෙසට හමුදාවෙන් බලපෑම්..?

නිල ඇදුමින් සැරසුණු යුද හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකු අතර ඇතිවන සිදුවීමක් සම්බන්ධයෙන් යුද හමුදාව මේ වන විට පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නෙවිල් ප්‍රේමරත්න ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනයේ දී එහි දෙපාර්ශවයම අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකොට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අදාළ පාර්ශවයන් වෙත යොමු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

නීතිගරුක මෙන්ම විනය ගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා යුද හමුදාව සෑම අවස්ථාවකදීම සිය නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් එවැනි ක්‍රියා සිදුකරනු ලබන අයවලුන් ගැන දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ආපන ශාලාවකට බීමතින් ගොඩවැදුණු හමුදා නිලධාරියකු එම වෙළෙඳසැල් හිමියාට පහර දී තර්ජනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියා පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

යුහ 49421 දරණ කැබ් රථයෙන් පැමිණි ලුතිතන් සිදත් ඉන්දුක නැමති යුද්ධ හමුදා නිලධාරියා මෙම පහරදීම කර ඇති අතර ඔහු වෙළෙඳසැල තුළ කෝලාහල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස් බුක් මාධ්‍යට සිදුවීමෙන් පසු මුදාහැර තිබුණි.

කෙසේ වෙතත් පොලිසියට කළ පැමිණිල්ලෙන් පසුව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙළෙඳසැල් හිමියාගේ පුත්‍රයකුට දුරකථනයෙන් කතා කොට අදාළ වීඩියෝව ඉවත්කරන මෙන් ඉල්ලා සිට තිබේ.

කෙසේ වෙතත් අදාළ හමුදා නිලධාරියා මේ වනතුරුත් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.