ලෝකයටම නැති..ශ්‍රී ලංකාවට ඇති..එකම ශාකයත් මරාගන්න දගලන රටක්

ඉන්දික ශ්‍රී අරවින්ද

මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කෘඩියා සෙලනිකා(Crudia zeylanica) නම් ශාකය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නිලධාරීන්ගේ අධුරදර්ශි තීරණ නිසා ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම ශාකය මෙරටින් තුරන් වීමේ අවධානමක් මතුව තිබේ.
අප විසින් කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ මෙම ශාකය එම ස්ථානයෙන් ගලවා වෙනත් ස්ථානයක යළි රෝපණය කිරීමට සුදානමක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා කියා සිටියේ මෙම ශාකය මෙතනින් ඉවත්කර වෙනත් ස්ථානයකට රැගෙන යාමට අදහසක් ඇති බවත් නමුත් ශාකය ආසන්නය නිරීක්ෂණය කිරීමේදී හැගී යන්නේ එසේ කළහොත්
එම ශාකය මිය යාමේ අවධානමක් පවතින බවයි.
මෙම ශාකය රැකගැනීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් හඬ නැගු ගම්පහ දිසා අඩවි වනජීවී නිලධාරිනි දෙවානි ජයතිලක මහත්මියට මේ වනවිට මාධ්‍යට අදහස් දැක්වීම පිළිබඳව යම් යම් සිමා පැනවීමට වනජීවී දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.
ජයතිලක මහත්මිය Colombo Gazette වෙත ප්‍රකාශ කළේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය නොමැතිව අදහස් දැක්විය නොමැති බවයි.
මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ඊයේ (09) පැමිණ ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ අවධානය

මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳව තීරණයක් ගනු ලබන්නේ විද්‍යාත්මක පදනමක් මත පමණක් බවයි.
මේ වන විට මතුව ඇති ගැටලුව පිළිබඳව ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු විය.
මෙම ශාකය රැක ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරිනියක තනිව ම සටනක නිරතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය මැදහත් වීමක් සිදු නොවන්නේ ඇයි දැයි ආණ්ඩු පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත බණ්ඩාර මහතා වනජීවී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙලස අදහස් පළ කළේය.
“මේ විෂය පථය භාරව කාට ද‍ තියෙන්නෙ ඒ වගේ ම විෂය සඳහා කටයුතු කරන්නේ කොහොම ද කියන එක ගැන ඒ නිලධාරිනිය දන්නේ නැතුව කටයුතු කරනවා.
හුදෙකලා වුණු ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සහ ගන්නවා.මේ මොහොත වන විට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අපේ අමාත්‍යංශ දෙකේ ලේකම්වරු දෙන්නත් දැන් එතනට ගිහිල්ලා තියෙනවා.
ඒ වගේ ම, අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ඒ කාර්යය කරනවා. එසේ නොහැකි නම් විකල්ප දෙයක් අපි දෙන්න උත්සහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයත් උම්මත්තක විදහට කටයුතු කරන අයත් ඉන්නවා, නැතුවා නෙමෙයි. නමුත් මේ පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න අපි සූදානම්.”

එදා දේවානි නොසිටියානම් කෘඩියා සෙලනිකා විනාසයි

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හමුවූ අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා(Crudia zeylanica) ශාකය පසුගිය (07) වැනිදා ඉවත් කිරීමට ගත් උත්සාහය ගම්පහ දිසා වනජීවී නිලධාරී දේවානි ජයතිලකගේ මැදිහත්වීම මත වළක්වා ගැනීමට හැකිව තිබේ.
ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ මෙය ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයකි.
පරිසරවේදීන් පවසන්නේ, මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර ඇති බවයි.
ශාකයට හානි නොවන ලෙස මාර්ගය ඉදිකිරිම සඳහා මිට පෙරදී එකඟතාවකට පැමිණ තිබුණත් පසුගිය (07) වැනිදා ඒ අවට තිබූ ගස්වැල් සහ පස් ඉවත්කර ඇති අතර ඒ අසල තවත් ගස් ගණනාවක් ද ගලවා තිබේ.
ගම්පහ දිසා වනජීවී නිලධාරී දේවානි ජයතිලක මහත්මිය මැදිහත්වීම මත කෘඩියා සෙලනිකා ශාකය ගලවා දැමීම නැවතී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසා ඇත්තේ මෙම ශාකය විධිමත්ව ගලවා සුදුසු ස්ථානයක රෝපණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවයි.
ගම්පහ දිසා වනජීවී නිලධාරී දේවානි ජයතිලක පවසන්නේ මේ ශාකය ගලවා වෙන තැනක සිටුවීමට ලංකාවේ තාක්ෂණයක් තිබේද යන ප්‍රශ්නය මතුවන බවත් එසේම දැනට ශාකය පිහිට තිබෙන ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත අනෙකුත් ශාක ගැන තැකීමක් නොකර ඩෝසර් කිරීම සිදුකර තිබේ.
දේවානි ජයතිලක මහත්මිය වැඩිදුරටත් පවසා ඇත්තේ කෘඩියා සෙලනිකා ශාකය ආරක්ෂා කරන ක්‍රමවේදය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් විශේෂඥයන්ගේ අදහස මෙම ශාකය පිහිටි ස්ථානයේම සුරක්ෂිත කරමින් පාර වෙනස් කළ යුතු බවයි.
ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් අධිවේගී මාර්ගයකට බිලි වීමට ආසන්නයේ තිබියදී සොයා ගැනීමට හැකි වී තිබුණි.
පරිසරවේදීන් පවසන්නේ, මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර ඇති බවය.
ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් මෙම ශාකය හමුවී තිබු අතර එම ශාකය ආසන්නයට ගමන් කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව ප්‍රදේශ වාසීහු පවසති.
මේ අතර, පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන්නේ ලෝකයට ම ඉතිරි වී ඇති අවසන් කෲඩියා සිලනිකා ශාක දෙක මෙහිදී හමුවී ඇති හෙයින් එම ශාක ආරක්ෂා කිරීමට වහා පියවර ගත යුතු බවයි.
මෙම ප්‍රධාන මව් ශාකය වෙනත් ස්ථානයකට ගෙන යාමේ යෝජනාවක් පිළිබඳව මේ වනවිට සාකච්ඡාවක් වෙමින් පවතී.
එය කිසි සේත්ම කළ නොහැකි අතර මුතු රාජවෙල පරිසරයට එය නොගැලපෙන බවයි.
එහෙත් මෙම ශාකය වෙනත් ස්ථානයකට මාරු කිරීමට තරම් තාක්ෂණයක් අදාළ අධිවේගී මාර්ගය ඉදිකෙරෙන සමගම සතුව නොමැති බවයි.
මුලින්ම කළ යුක්තේ මේ ශාක දෙක තියෙන කලාපය සංරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කරල ගස්වලට ආරක්ෂාව තහවුරු කරන එක. ඊළඟට අධිවේගී මාර්ගයට අදාළ පරිසර වාර්තාව සකස් කරපු සමාගමට වගේ ම ඒක අනුමත කරපු අයට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග ගන්න ඕන. ඔවුන්ට ආයෙත් ශ්‍රී ලංකාවේ පරිසර වාර්තා සකස් කළ නොහැකි වෙන්න අසාදු ලේඛනගත කළ යුතු බව නයනක රන්වැල්ල මහතා පවසයි.

හඳුනාගත් ශාකය

කෲඩියා සිලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය 1868දී මුලින් ම සොයාගෙන ඇති අතර එම ශාකයේ නියැදියක් යළිත් 1911 වසරේදී හමුවී ඇතැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ භාවිත වන ව්‍යවහාරික නමක් නොමැති බව පවසන ඔහු පසුව ශාකය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම සඳහා එම ශාකයේ කොටස් පේරාදෙණියේ පිහිටි ජාතික ශාකාගාරය වෙත භාර දී තිබිණි.
මෙම සුවිශේෂී ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන viii වන උප – ලේඛනයේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් වෙයි.ඔහු පෙන්වා දෙන්නේ, එවැනි ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම තහනම් බවයි.

කෲඩියා සිලනිකා

කෙසේ වෙතත්, මෙම ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වේ.
ඒ අනුව, එම ශාකය ලෝකයෙන් වඳ වී ගිය (Extinct) ශාකයක් ලෙස එහි හඳුන්වා තිබේ.
එම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල විශාලව වැඩෙන ශාකයක් ලෙස එහි විස්තර කර ඇත.
එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති අතර, 2012 ජාතික රතු දත්ත නාමාවලිය ද (National Red Data list) මෙය වඳ වී ගිය ශාකයක් ලෙස (Extinct) දක්වා තිබේ.මෙම ශාකයේ මල් පිපුණාම පළාත ම සුවඳ හමයි.

කෲඩියා සිලනිකා මුලින්ම හඳුනාගත්තේ කවුද?

මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ නමැති තරුණ පරිසරවේදියාය.
“නුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා මීරිගමට යන කොටසේ තමයි දාරළුව ප්‍රදේශය තියෙන්නේ. මේ මාර්ගයට යොදාගන්නා ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසර තත්ත්ව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට දීලා තිබුණා. ඒ වාර්තාවෙන් කියවුණේ පාරිසරික හානියක් නැති බවයි. ඒත්, මධ්‍යම පරිසර අධිකාරිය පසුගිය වසරේ උපදෙස් ලබා දී ඇත්තේ යළිත් වරක් අදාළ ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැන සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියලා. ඒ අනුව කරපු අධ්‍යයනයේදී තමයි මේ ශාකය හඳුනාගන්න ලැබුණේ,” යැයි හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ පවසයි.
“මේ ගහේ කොළ දැක්කා ම මම හිතුවා මේ කෲඩියා සිලනිකා ශාකය කියලා. ඒත් ඒ වෙලාවේ ගහේ මල් තිබුණේ නැහැ. ඒ නිසා නිශ්චිතව තහවුරු කර ගන්න බැරි වුණා. ඒත් දැන් ගහේ මල් පිපිලා තියෙනවා. දැන් තහවුරුයි ඒ ශාකය කෲඩියා සිලනිකා බව.”
“මේ සම්බන්ධයෙන් නිල පර්යේෂණ කටයුතු සඳහා අපි ජාතික ශාකාගාරයට නියැදි යොමු කළා. ඔවුන් පර්යේෂණ සිදු කරමින් සිටිනවා. ජාතික ශාකාගාරය ලිපියක් යොමු කළා අදාළ පර්යේෂණ අවසන් වෙනකම් එම කොටසේ ඉදිකිරීම් ප්‍රමාද කරන්න කියලා. මාර්ග සංවර්ධන අධිකාරිය ඒකට එකඟ වෙලා තියෙනවා,” හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් දෙවන පරිසර අධ්‍යයනය සිදු කළ හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ තරුණයා පවසන්නේ මධ්‍යම පරිසර අධිකාරිය සිය වගකීම නිසි පරිදි ඉටු කළ හෙයින් මෙම වටිනා ශාක ආරක්ෂා වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.