ටයිල් සඳහා යළි තහනම පැනවුවේ ඉහළින් ආ බලපෑමක් නිසයි ?

ඉන්දික ශ්‍රී අරවින්ද

නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පසුගිය (02) වැනිදා කුත්කරනු ලැබු ගැසට් පත්‍රය ආනයන අපනයන පාලක ජෙනරාල්වරිය විසින් අත්හිටුව තිබේ.

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට තමන් ගත් තීරණයට පසුබිම් වූ කාරණා මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බවයි ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය සඳහන් කළේ.

ඇය සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත තමන් මෙම ගැසට් පත්‍රය අත්හිටවූ බවයි. කෙසේ නමුත් එය පැය කිහිපයක් ඇතුලත අත්හිටුවූ නිසා කිසිවකුට ඉන් බලපෑමක් සිදු නොවූ බවද ඇය පවසයි. කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහළම බලධාරියා වන මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ටයිල් ආනයන තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය එම අමාත්‍යාංශයේ පහළ නිලධාරියෙක් වන ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් අහෝසි කර තිබීම විශේෂත්වයකි.

ඒ සඳහා ජනාධිපති ලේකම්වරයාට බලපෑම් කරනු ලැබුවේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් ඔහුගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් බවට රාවයක් ද පවතී. ඒ අනුව පසුගිය (02) වැනිදා නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

මේ අතර කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉඳිකිරීමට ගෙන ආ ටයිල් තොගයක් රේගුවේ හිරවී තිබීම නිසා එහි ඉඳිකිරීම් ඇනහිට ඇතැයි සඳහන් කරමින් එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රත්නවීර විසින් එම ටයිල් නියමිත රේගු ගාස්තු ගෙවා නිදහස් කරදීමට කටයුතු කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුනේ මිට දින කිහිපයකට පෙරය.

ඒ අනුව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, එන්. ඒ. වීරසිංහ විසින් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ජනවාරි 22 දා ලිඛිත දැනුම් දීමක් කර ඇත. ටයිල් සඳහා මේ වන විට ක්‍රියාත්මක ආනයනික ප්‍රතිපත්තිය සංශෝධනය කර ටයිල් සඳහා බදු නිදහස් කරන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අගමැතිවරයා කටයුතු කර ඇත්තේ එම සිද්ධියෙන් හෙළිවූ කරුණු ගණනාවක් සැලකිල්ලට ගනිමින් බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

විදෙස් ටයිල් ගෙන්වීම තහනම් කිරීමට පෙර ආනයනය කරන ලද ටයිල් කන්ටේනර් 100කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ ගොඩගැසී ඇති බවත්, ඒවා ආනයනය ව්‍යාපාරිකයින් මේවනවිට රුපියල් ලක්ෂ ගණනක් ගුදම් ගාස්තු ගෙවමින් සිටින බවටත් අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.  එසේම, රජය විසින් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් මේවනවිට එම ක්ෂේත්‍රයේ නිරතව සිටි ව්‍යාපාරිකයින් බරපතල මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර ඒ ආශ්‍රීත රැකියාවන් හි නිරතව සිටි දහස් ගණනකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ද මතුව තිබෙන බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් අගමැතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබී තිබේ.

මෙම ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ තීන්දුව නිසා, මෙරට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පමණක් දැවැන්ත ධනස්කන්දයක් උපයමින් සිටින බවටද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත. අගමැතිවරයා අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළේ ඒ අනුවබව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.