ඉසුරුමත් හෙට දිනක් වෙනුවෙන් එකට නැඟී සිටිමු

සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අවබෝධ කරගනිමින් ජනතාව මත තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්තයක් වනු ඇති බව 73 වන ජාතික නිදහස් දිනය පණිවිඩය නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම කොවිඩ් – 19 දැන් ලෝකය හමුවේ ඇති විශාලම අභියෝගයයි. ජනතාව මෙම අර්බුදයෙන් නිදහස් කර ගැනීමේ සටනට අප දැන් උර දී සිටී. සතුරු බලවේග පරාජය කිරීමට මෙන්ම කොවිඩ් – 19 පරාජය කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි නැගී සිටිය යුතු බවද ඔහු පවසයි.

එම නිවේදනයේ මෙසේද වැඩි දුරටත් සදහන් වේ.

ශ්‍රී ලාංකේය සියලු පුරවැසියන් 73 වන ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ ඉමහත් අභිමානයෙනි. යටත් විජිතයක් බවට පත් වූ දින පටන් නිදහස දිනා ගැනීමට ලක්වැසියන් කළ කැපවීම හා සටන් ලෝක ඉතිහාසයේ නම් දරා තිබේ.

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමිය.

අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි. විවිධ අභියෝග හමුවේ දේශියත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයාමේ මාවතට අප දැන් ප්‍රවිෂ්ට වී තිබේ.

ඉතිහාසය පුරාවට මාතෘ භූමියට එරෙහි දෙස් විදෙස් බලවේග මෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ ස්ථිර ප්‍රතිපත්තියක අපි කටයුතු කළෙමු. කොතරම් අභියෝග පැමිණිය ද අපගේ මාතෘ භූමිය අප කිසි ලෙසකින් පාවා දී නැත.

අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ සියලු දෙනාටත් වර්තමානයේ එම අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.