නොරොච්චෝලේ බලාගාරය කල්පිටිය කොරල්පර අභයභුමිය වනසයි

ඉන්දික ශ්‍රී අරවින්ද 

මේ වන විට මුහුදේ පරිසර උෂ්ණත්වය ඉහළ යාමේ අවධානමක් හේතුවෙන් ලෝකයේ කොරල්පර රක්ෂිත අභයභූමි කලාප විනාශ වීමේ තර්ජනයකට ලක්ව තිබේ.  ඒ අනුව මෙරට මෙන්ම ජාත්‍යන්තරවත් වශයෙන් වුවද මෙම කොරල්පර රක්ෂිත අභයභූමි සඳහා සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩියෙන් යොමු වී තිබේ.

මෙරට කොරල්පර රක්ෂිත අභයභූමි කලාපයක් ද මේ ආකාරයෙන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින්නේ මුහුදේ පවතින පරිසර උෂ්ණත්වය නිසා නොව ඒ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා බව පරිසර සංවිධාන විසින් හඳුනාගෙන ඇත.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කල්පිටිය කොරල්පර මුහුදු රක්ෂිත අභයභූමිය අද වන විට විනාශ වෙමින් පවතී. පුත්තලම ප්‍රදේශයේ පිහිටි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හෙවත් නොරොච්චෝලේ “ලක්විජය” ගල් අඟුරු බලාගාරය නිසා පරිසර හානි රැසක් මේ වන විට සිදුවෙමින් පවතින බව මෑතකදී සිදු කළ පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිට කිලෝ මීටර 15ක් පමණ ඈතින් පිහිටි වර්ග කිලෝ මීටර් 306කින් සමන්විත මෙම කොරල්පර රක්ෂිත අභයභූමි කලාපය මේ වන විට විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව Colombo Gazette මගින් සිදු කල ගවේෂණයකදී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය.

පුත්තලම ප්‍රදේශයේ පිහිටි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර වූ මෙගා වොට් 300කින් යුත් බලාගාරය  ඉදිකරනු ලැබුවේ 2011 වසරේදී වන අතර එහි දෙවන අදියර ලෙස මෙගා වොට් 600ක බලාගාරය ඉදිකරනු ලැබුවේ 2014 වසරේදීය.

එමගින් රටේ විදුලි අවශ්‍යතාවයෙන් යම් ප්‍රමාණයක් සපුරා ගැනීමට හැකියාව තිබුනත් එම බලාගාරයෙන් නිකුත් වෙන ගල් අඟුරු අළු දුවිලි අංශු නිසා ප්‍රදේශයේ කෘෂි කාර්මික වගාවන්ට මෙන්ම කල්පිටිය මුහුදු ජිවින්ටත් කොරල්පර රක්ෂිත අභයභූමි කලාපයටත් දැඩි ලෙස තර්ජනයකට ලක්ව ඇත.

එවැනි වාතාවරණයක් හමුවේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන් වැනි අදියර ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. කලපිටිය මුහුදු කලාපය තුළ සිදු කළ පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ මෙම ගල් අඟුරු බලාගාරයෙන් මුහුදට මුදාහරින සෙන්ටිග්‍රේට් අංශක 7ක උෂ්ණත්වයෙන් යුත් ජලය නිසා නොරොච්චෝලේ අවට මුහුදේ මුහුදු ජීවින් විනාශ වීමේ තර්ජනයකටත්,අවට මුහුදු කලාපයේ මුහුදු පැළෑටි වඳවීමේ ත්ර්ජනයකටත් ලක්ව ඇති බවයි.

මෙයට අමතරව බලාගාරයෙන් නිකුත් වන ගල් අඟුරු අළු අංශු මුහුදට මුසු වීම නිසාත්, ගල් අඟුරු බලාගාරය වෙත ගොඩ බෑමේදී මුහුදට වැටෙන අධික ගල් අඟුරු දිය වී කල්පිටිය කොරල් පර වන රක්ෂිත අභයභූමි කලාපය වෙත දිය වැලක් සේ ඇදී යාම නිසා එම කලාපයද විනාශ වී යාම ආරම්භ වී ඇති බව අනාවරණය කරගෙන ඇත.
මේ සම්බන්ධව රජයට සම්බන්ධ අංශ කිහිපයක්ම නොරොච්චෝලේ බලාගාර කළමණාකාරිත්වයට ලිඛිතව දැනුම් දී ඇති මුත් එය අධීක්ෂණය කිරීමට රජයේ කිසිඳු ආයතනයක් නම් කර නොමැත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කල්පිටිය කොරල් පර වන රක්ෂිත අභයභූමි කලාපය අවට සිදුකල පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ මෙම ගල් අඟුරු බලාගාරයෙන් මුහුදට නිකුත් වෙන අධික උෂ්ණත්වයෙන් යුත් ජලය නිසාත්,ගල් අඟුරු දහනය මගින් නිකුත් වෙන දුවිලි අළු අංශු නිසාත් මෙම කොරල්පර අභයභූමි කලාපයට දැඩි ලෙස හානි සිදු වෙන බවට අනාවරණය කරගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදීම නොරොච්චෝලේ බලාගාර කළමනාකාරීත්වය දැනුවත් කරණු ලැබුවත් ඒ පිළිබඳව අධීක්ෂණය කිරීමට ආයතනයක් නොමැති නිසා ගැටළුවක් මතු වී ඇතැයි සුරියබණ්ඩාර මහතා පැවසිය.
වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙවැනි ව්‍යාපෘති කිහිපයකටම පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තා සැකසීමට අවසර ලබා දී ඇතත් ඒවා අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම කණගාටුවට කරුණකි.

ඇතැම් අවස්ථාවලදී මෙම මහුදු ජීවීන් විනාශ වීම පිළිබඳව නොරොච්චෝලේ බලාගාර කළමනාකාරිත්වයෙන් කරුණු විමසීමේදී එම තොරතුරු සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා නොදෙන බව ද ඔහු පවසයි. වනජීවී දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලට අනුව නොරොච්චෝලේ බලාගාරය නිසා කල්පිටිය අවට මුහුදට යම් බලපෑමක් ඇති තිබෙන අතර ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගත යුතු බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව කල විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ මෙම බලාගාරයෙන් නිකුත් වෙන අධික උෂ්ණත්වයෙන් යුත් ජලය මෙන්ම ගල් අඟුරු නිසා කලාපිය මුහුදු පරිසරයට යම් හානියක් සිදුවන බවට හඳුනාගෙන ඇති බවයි. මෙම කොරල්පර රක්ෂිත අභයභූමි  කලාපයේ කොටසක් ගල් අඟුරු අළු දුවිලි අංශුවලින් වැසි ගොස් ඇති බවට සිදුකල පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් බලාගාර කළමනාකාරීත්වයෙන් තම අධිකාරිය කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ බලාගාරයෙන් නිකුත් කෙරෙන අධික උෂ්ණත්වයකින් යුත් ජලය සිසිල් කර මුහුදට මුදා හරින බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාර කළමනාකාරිත්වය සමග ඍජුවම සාකච්ඡා කිරීමට සුදානම් වන අතර මෙය පාරිසරික වශයෙන් බරපතල ගැටළු සහගත තත්වයක් බව ද ඇය පැවසිය.
මේ පිළිබඳව සොයා බැලීමේ යම් වගකීමක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සතුව පැවතුනත් එහි වැඩි වගකීමක් ඇත්තේ    වනජීවී දෙපාර්තමේන්තුවට බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කරයි.

පරිසර අමත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙවැනි ක්‍රියාකාරකමක් පිළිබඳව තමා දැනුවත් වී නොමැති බවත් මුහුද විශාල උනත් එහි බලපෑමක්  තිබෙන නිසා වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවයි. මෙහි චීන තාක්ෂණය නිසා ගැටළුවක් නොමැති වෙන්න විදිහක් නොමැති බවත් මෙහි යම් වගකීමක් විදුලි බල අමාත්‍යංශය වෙතත් පැවරෙන බවත් ඔහු පැවසීය.
මෙය නිවැරදි කිරීමට අනිවාර්යෙන්ම විදුලි බල අමාත්‍යංශය මැදිහත් විය යුතු බවත් එසේ තිබියදී නොරොච්චෝලේ තුන් වැනි අදියර ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත බව පරිසර අමත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ මුහුදු රක්ෂිත අභයභූමි භාර සහකාර අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා ප්‍රකාශ කළේ මෙරට මුහුදු රක්ෂිත අභයභූමි කලාප ලෙස හික්කඩුව,රූමස්සල,සහ කල්පිටිය යන කලාප මේ වනවිට ඇති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වනජීවී දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති නිසා එහි වගකීම තම දෙපාර්තමේන්තුව සතුව ඇති බවයි. මුහුදේ පවතින උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් එකකින් ඉහළ ගියත් එය කොරල්පරවලට දැඩි ලෙස බලපාන අතර එම නිසා කොරල්පර විනාශ වීමේ තත්වයට ද  පත්වෙනු ඇත.

නොරොච්චෝලේ බලාගාරය අවට මුහුදේ උෂ්ණත්වය වැඩි වී ඇති බව හඳුනාගෙන ඇති අතර මුහුදු ජලය අතට ගත් විට එය හොදටම දැනෙන තත්වයක පවතී. එහෙත් එය කිසිම ආයතනයකින් අධීක්ෂණය කෙරෙනවා ද යන්න පිළිබඳව දැනුවත් නොමැති බවත් එහි අධීක්ෂණය පාරිසරික බලපෑම් තක්සේරුව (EIA) සිදුකල ආයතනය මගින්ම කල යතුව ඇත. නොරොච්චෝලේ බලාගාරයට කිලෝ මීටර් 5-6 වගේ දුරකින් ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ කලාපය ඇති බැවින් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතු බව වනජීවී දෙපාර්තමේන්තුවේ මුහුදු වන රක්ෂිත අභයභූමි භාර සහකාර අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේ නොරොච්චෝලේ බලාගාරයෙන් මුහුදට මුදා හරින ජලය කිසිම අවස්ථාවක සිසිල් නොකර සිදු කරන ක්‍රියාවලියක් බවත් එය සෙන්ටිග්‍රේට් අංශක 7ක උෂ්ණත්වයකින් යුත් ජල ධාරිතාවයක් බැවින් එය අනිවාර්යෙන්ම මුහුදු ජිවින්ට මෙන්ම කොරල් පර වනජීවී කලාපයට දැඩි ලෙස බලපාන බවයි. පසුගිය කාලය තුළදී මෙම ගල් අඟුරු බලාගාරයේ අළු මිළදී ගැනීමට සමාගම් ඉදිරිපත් නොවීම නිසා එම අළු මුහුදට මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඒ වගේම මුහුදේ සිට බත්තලන් මගින් ගල් අඟුරු ගොඩ බෑමේදී විශාල ලෙස මුහුදට වැටෙන බවත් මේ හේතුව නිසා ගල් අඟුරු නැවකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නොරොච්චෝලේ අවට මුහුදේ පතිතව ඇති බවත් විතානගේ මහතා අවධාරණය කරයි.
මෙම ගල් අඟුරු බලාගාරය නිසා ඇති වන පරිසර හානිය පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවද දැනුවත් කරනු ලැබූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ පිළිබඳව වහාම ක්‍රියා මාර්ගයක් ගන්නා බවට ද පොරොන්දු වී ඇත.

මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවටත්,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත්,පරිසර අමාත්‍යාංශයටත්,මධ්‍යම පරිසර අධිකාරියටත්,විදුලිබල අමාත්‍යාංශයටත් ඇති බැවින් එම ආයතන මැදිහත් විය යුතු බව  පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා වැඩිදුරටත් පැවසිය.

මේ සම්බන්ධයෙන් පුත්තලම වනජීවී කලාප කාර්යාලයේ උසස් නිළධාරියකු සඳහන් කළේ නොරොච්චෝලේ බලාගාරයෙන් මුහුදට මුදා හරින සෙන්ටිග්‍රේට් අංශක 7 ක උෂ්ණත්වයෙන් යුතු ජල ධාරිතාවය නිසා එම අවට මුහුදේ මසුන් වඳවී යාමේ තර්ජනකට ලක් වී ඇති බවයි.

මෙම තත්වය පිළිබඳව අවධානයට ලක් නොකළහොත් ඉදිරියේදී කල්පිටිය කලාපයේ බහුල වශයෙන් ගැවසෙන ඩොල්ෆින් මත්ස්‍යයින්ට ද යම් කිසි බලපෑමක් ඇති වීමේ ඉඩ කඩක් පවතින නිසා නොරොච්චෝලේ බලාගාරයේ තුන් වැනි අදියර ආරම්භ කිරීමට පෙර නැවත පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාවක් ලබා ගැනීමට සුදුසු බව ඔහු පවසයි.

මෑතකදී සිදු කළ සොයා බැලීමකදී හඳුනාගෙන තිබුණේ නොරොච්චෝලේ බලාගාරය අවට මුහුදේ මුහුදු පැළෑටි මෙන්ම මුහුදු ජීවීන් නොමැති බව එම නිළධාරිය වැඩිදුරටත් පැවසිය.

(උපුටා ගැනීම – ඩේලිමිර පුවත්පත)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.