වසරක කාලයක් සඳහා මියන්මාරයේ පාලන බලය තමන් යටතට පවරා ගත් බව එරට යුධ හමුදාව නිල වශයෙන් නිවේදනය කර ඇත. දින කිහිපයක සිට මේ සම්බන්ධයෙන් විවිධ තොරතුරු විදේශ මාධ්‍ය හරහා වාර්තා විය.
ප්රජාතන්ත්රවාදයට ගරු කරන ලෙසට අමෙරිකාව ඕස්ට්‍රේලියා ඇතුලු රටවල් රැසක් මියන්මාර හමුදා පාලකයන්ට අවධාරණය කරයි. ජනාධිපති ජෝ බයිඩ්න් මහතාද මියන්මාරයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කරයි.
මියන්මාර පාලක ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුලු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙන්ම එරට ජනාධිපතිවරයාද මේ වනවිට හමුදා අත්අඩංගුව යටතේ සිටින බවද විදේශ මාධ්‍ය පවසයි.
පසුගිය නොවැම්බර් මස පැවති මහ මැතිවරණ ප්රථිඵලයට අනුව ආසන 476 කින් සමන්විත මියන්මාර පාර්ලිමේන්තුවේ ආසන 396 ක් දිනාගැනීමට අවුන්සාන් සුචී මහත්මියගේ පාලක ජාතික ලීගය සමත්විය.
කෙසේවෙතත් 2008 වසරේදී සම්මත වූ ව්‍යවස්ථාවට අනුව සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 25ක් එරට හමුදාවට හිමි විය.