අද දින සිදු වූ සුවිශේෂී සිදුවීම වූයේ ගනුදෙනු අතරවාරයේ දී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පස්වරු 12.07 සිට පස්වරු 12.45 දක්වා කාලය තුළ දී දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනය තුළ දී ඒකක 143.94 ක දැවැන්ත පසුබැස්මක් වාර්තා කළේය. මෙහි දී දිනයේ ගනුදෙනු ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මා ගියද දිනය අවසානයේ දී එය නතර වූයේ ඒකක 8,668.07 ක් ලෙසිනි. එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.63% ක පහළ යාමක් වේ.
රු. බිලියන 13.41 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. මෙහිදී සම්පත් බැංකුවේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 2.99 ක පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. සම්පත් බැංකුවේ කොටස් අනුබෙදුමක් (Sub-division) නිවේදනය කර තිබූ පසුබිමක අද දින සම්පත් බැංකු සමාගමේ කොටසක මිල රු. 203.00 ක් දක්වා 21.74% ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබුණි. මේ අතර LOLC හෝලිඩිංග්ස් හි රු. බිලියන 2.13 ක් හා වැලිබල් වන් රු. බිලියන 1.14 ක් වශයෙන් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් වේ.
අද දිනයේ දී සම්පත් බැංකුව, වැලිබල් වන්, HNB ඇතුළු සමාගම් 48 කින් ධනාත්මක දායකත්වයක් සියලු කොටස් මිල දර්ශකය වෙත ලැබුණ ද, සමාගම් 181 කින් ඒ සඳහා ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි.