චීනයෙන් ශ්‍රී ලංකාවට ණය සැපයුවද එම ණය ලබාදෙන්නේ යුවාන්වලින් මිස ඩොලර්වලින් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. එසේ වුවද ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු ගෙවිය යුතු වන්නේ ඩොලර්වලින් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.
‘‘ආණ්ඩුවට මේ වන විට දැඩි තීරණ ගන්න වෙලා. බැංකුවලට ඩොලර් මිලදී ගැනීම අඩුවෙලා. ඩොලර් මිලියන හත්සීයක් චීනයෙන් එනවා කිව්වා. ඒක තවම ලැබිල නැහැ. ඉන්දියාවෙන් එනවා කිව්වා. ඒකත් නැහැ. ආණ්ඩුව උග්‍ර ඩොලර් ප්‍රශ්නයක හිරවෙලා. දැන් චීනයෙන් දෙන්නෙ රුපියල්වත් ඩොලර්වත් නෙවෙයි යුවාන්. නමුත් අපිට අවශ්‍ය ඩොලර්. එතැනදී ආණ්ඩුවට සිද්ධ වෙනවා චීනයේ යුවාන් ඩොලර් කරගන්න. මේ වනවිට ණය ගෙවන්න පමණක් ඩොලර් බිලියන හතක් අවශ්‍යයි.
රජය ඊයේ මහ බැංකුව හරහා හදිසි රෙගුලාසියක් නිකුත් කරලා. එහි සඳහන් කර තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි බැංකු වලට විදේශ විනිමය ඉදිරි ගිවිසුම් වලට අත්සන් කරන්න බැහැ කියලා. ආනයනකරුවෙක් ආනයනයක් ගේන්නේ අමාරුවෙන් බලපත්‍රයක් අරගෙන. ඩොලරය රුපියල් එකසිය අසු පහට තියෙනවා කියලා කබ්රාල් මහත්තයා පාර්ලිමේන්තුවේ ලොකුවට කිව්වා. නමුත් දැන් ආනයනකරුවන්ට රුපියල් දෙසිය එකක් ගෙවන්න වෙලා. සීග්‍රයෙන් රුපියල අවප්‍රමාණය වීගෙන යනවා.