ඉන්දික ශ්‍රී අරවින්ද
චීනයේ එක්සිම් බැංකුවෙන් රුපියල් කෝටි 1880ක පමණ ණය මුදලක් ලබාගෙන ඉදිකළ ‘නෙළුම් කුළුණ’ ඉකුත් 2019 සැප්තැම්බර් මස 16 වන දින විවෘත කළත් මේ වසරේ ජනවාරි දක්වා ඉන් කිසිදු ආදායමක් ලබාගැනීමට හැකි වී නැතැයි අනාවරණය වේ.
මෙම ණය මුදලට අදාළව වසරකට පොලිය පමණක් රුපියල් මිලියන 560ක් පමණ ගෙවීමට සිදුව ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම “නෙළුම් කුළුණ” විවෘත කිරීම ප්‍රමාද වී ඇත.
දකුණු ආසියාවේ ඇති උස ම කුළුණ වන මෙය ලෝකයේ උස ම කුළුණු අතර 19 වන ස්ථානයේ පවතියි.
කැරකෙන අවන්හලකින් (Rotate Restaurant) ද සමන්විත ‘නෙළුම් කුළුණ’ නැරඹීමට කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා දෙස් විදෙස් සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් මෙම කුළුණේ ආදායම් මාර්ග ඇහිරීගොස් ඇත.
මෙම කුළුණ සන්නිවේදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබූ අතර එහි ඇති මහල් කුලියට දීමේ කටයුතු ද මෙතෙක් සාර්ථකව සිදුවී නොමැත. සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් විශේෂ සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට එවකට සිටි රාජපක්ෂ රජය සැලසුම් කර තිබුණ ද 2015 වසරෙන් පසු ඒ කටයුතු සියල්ල වෙනසකට භාජන වී ඇත.
කෙසේ වෙතත් නෙළුම් කුළුණ හා ඒ ආශ්රිත ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ට ආකර්ෂණය වන පරිදි සකසා මෙම කුළුණ ඉදිකිරීමෙන් බලාපොරොත්තු වූ ආදායම් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජය මේ වන විට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම “කුළුණ” ඉදිකිරිම සඳහා ගත් ණය වාරිකය නිසි පරිදි ගෙවාගෙන යන බවත් මේ දිනවල එහි තත්ව පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත්ය.
මේ වන විටත් චීනයේ තාක්ෂණික කණ්ඩායමක් මෙරට තුළ රැඳී සිටින අතර අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ සහය ද ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.
ඒ අනුව ඉතා කඩිනමින් මෙම “නෙලුම් කුළුණ” ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කිරීමට සුදානම් වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසිය.