යුරෝසන් සිදුවීම ගැන පුළුල් පරීක්ෂණක්

හම්බන්තො‌ට කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්නයේ අනතුරට ලක්වූ යුරෝසන් නෞකාව නිරීක්ෂණය කිරීම සදහා ශ්‍රී ලංකන් ගුවන් හමුදාව බීච් ක්‍රාෆ්ට් 200 ගුවන් යානයක්‌ යොදා ගෙන තිබේ. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව අවශ්‍ය වුවහොත් ඉදිරියේදී අදාළ නෞකාවට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ද ගන්නා බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.

නෞකාවේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එම තොරතුරු නාවික හමුදාව ඇතුලු විවිධ අංශ වෙත ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කල අතර බීච් ක්‍රාෆ්ට් ගුවන් යානය නැවේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කෙරේ. මීටර් 180 ක් දිග මීටර් 30 ක් පමණ පළල ලයිබීරියා රජයට අයත් එම් වී යුරෝසන් නැමති මෙම නෞකාව සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී, ගල් පරයක ගැටීමෙන් අනතුරට ලක්විය. අනතුරට ලක්වන අවස්ථාවේදී නැවේ 18 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට තිබේ. මෙය ඊයේ දහවල් කාලයේදී මෙම නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වීමටයි නියමිතව තිබිණි.

ඊයේ අනතුරට ලක්වූ යුරෝ සන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට හානියක් සිදුවී ඇත්නම් එහි අලාභය අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව පවසන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේවන විට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නෞකාව අනතුරට ලක්ව ඇති ප්‍රදේශයට පිටත් කර යැවීමට පියවර ගෙන ඇත.

නෞකාව,අනතුරට ලක්වීම වාර්තා වීමත් සමග කිමිදුම් කණ්ඩායම්,නිරීක්ෂණ හා ආපදා කළමනාකරණ නෞකා හා යාත්‍රා කඩිනමින් එම ස්ථානයට පිටත් කර යැවීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ, යූරෝ සන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට මේ දක්වා හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.