ඉන්දියාවේ එන්නත් කිරීමේ ආරම්භයට ලංකාවෙන් සුභ පැතුම්

ඉන්දියාවේ කොරෝනා එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසංගතයේ අවසානයෙහි ආරම්භයක් ලෙස ශ්‍රී ලංකාව දකී.

දැවැන්ත එන්නත් කිරීමේ මෙහෙයුම දියත් කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුබ පතා ඇත. ටුවිටර් සටහනක් තබමින් අගමැතිවරයා එසේ සුභ පතා ඇත.

“Congratulations PM @narendramodi and the Government of India on taking this very important step with this massive #COVID19Vaccination drive. We are starting to see the beginning of the end to this devastating pandemic. @IndiainSL,” යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඊයේ (16) දිනයේ සිට ඉන්දියාවේ ආරම්භ විය. ඒ සඳහා වන අනුමැතිය හිමිවූ කොවිෂීල්ඩ් හා කොවැක්සීන් එන්නත් මෙම වැඩපිළිවෙල යටතේ ලබාදීමට නියමිතය. එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටියක සෞඛ්‍ය සේවකයින් හා හදිසි අංශ ඉලක්ක වී තිබේ.

ඉන් අනතුරුව පොලීසිය, ආරක්ෂක අංශ, නගරසභා සේවකයින් හා තවත් ඉදිරිපෙළ සේවකයින් වෙත එන්නත ලබාදීමට ඉන්දීය රජය සූදානමින් පසුවේ.
එම අදියර අවසන් කිරීමෙන් පසු වයස අවුරුදු 50 ඉක්මවූ පිරිස් සහ වයස අවුරුදු 50ට අඩු නමුත් අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් ඉලක්ක කෙරෙනු ඇත.

මෙලෙස ලබන අගෝස්තු මාසය වනවිට මිලියන 300ක පිරිසකට එන්නත ලබාදීම ඉන්දීය රජයේ අපේක්ෂාව වේ. රජයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන, පාසල්, විද්‍යාල, මංගල උත්සව ශාලා ඇතුලු තෝරාගත් ස්ථාන තුළ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ඒ ලක්ෂ 6 ඉක්මවූ පුහුණු නිලධාරීන් විසිනි. දින 28ක පරතයක් යටතේ එන්නතේ මාත්‍රා දෙකක් සෑම පුද්ගලයෙකු වෙතම ලබාදීමට නියමිතය. කොවැක්සීන් එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළම සංවාදයක් ගොඩනැගී ඇති පසුබිමක එය නොතකා සිය එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගැනීම විශේෂත්වයකි.

කෙසේ නමුත් රජය පවසන්නේ අදාළ එන්නත භාවිතයෙන් කිසිදු දරුණු අතුරු අබාධ සිදුනොවන බවය. ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තාවන ඉන්දියාවේ මේ වනවිට සිදුවී ඇති මරණ ගණන 152,094 කි. මේ අතර නව කොවිඩ් ප්‍රභේද රටට ඇතුලුවීම වැළැක්වීමට සියලු සංචාරක කොරිඩෝ වසා දැමීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.

රජය මෙම තීන්දුවට පැමිණ ඇත්තේ දකුණු අමෙරිකාව සහ පෘතුගාලයේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකරන සියලු සංචාරක කටයුතු තහනම් කිරීමෙන් පසුවය. අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ නව නීති ලබන මස 15වැනිදා දක්වා ක්‍රියාත්මක බවය. ගෙවුණු දිනයේදී එරටින් ආසාදිතයින් 55,761ක් වාර්තා වූ අතර සිදුවී තිබූ මරණ ගණන 1,280ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.