වියට්නාමය හා ශ්‍රී ලංකාව සෘජු ගුවන් ගමන් සඳහා අවධානය

ආගමික හා සංස්කෘතික සංචාරක කටයුතු  ප්‍රවර්ධනට දෙරට අතර ඍජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත.

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා හා වියට්නාමයේ හෝ චි මිං නුවර පිහිටි වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (VCCI)  උප සභාපති සහ සාමාන්‍ය අධ්‍යක්ෂ වෝ ටැන් තාන් මහතා අතර ඉකුත් 11 වැනි දා පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී තිබේ.

සංචාරක කටයුතු සීමා කොට ඇති කොවිඩ්-19 කාල සීමාව තුළ දී වෙළඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා සඳහා පහසුකම් සැලසීම පිණිස, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක අපේක්ෂාවන් මෙන්ම පවත්නා නීතිමය උපකරණ මෙන්ම වෙබ්නාර්, වීඩියෝ සම්මන්ත්‍රණ වැනි නව මාධ්‍යයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී ඔවුහු සමාලෝචනය කළහ. වෙළඳ, සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගමගේ මැතිතුමා වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට සහ උප සභාපති තාන් මහතාට සිය ස්තූතිය පුද කළේය.

මේ වසරේ දී තානාපති කාර්යාලය විසින් සිදු කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා VCCI හි සහාය ලබා දෙන ලෙස එතුමා ඉල්ලා සිටියේය. ‍ඊට ප්‍රතිචාර දක්වමින්, VCCI හි පූර්ණ සහයෝගය ලබා දෙන බවට තාන් මහතා සහතික වූ අතර, හෝ චි මිං හි පැවැත්වෙන වඩාත්ම කැපී පෙනෙන ප්‍රවර්ධන වැඩසටහන් දෙක වන මෙම වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත වියට්නාම් එක්ස්පෝ 2021 (VN Expo) සහ ජාත්‍යන්තර සංචාරක එක්ස්පෝ 2021 (ITE) සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. මෙම ප්‍රදර්ශන දෙක සඳහා අදාළ කර්මාන්තවල ප්‍රධාන පාර්ශ්වකරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන අතර, එමඟින් නව හවුල්කාරීත්වයන් හා සබඳතා ගොඩනැගීම සඳහා ශක්තිමත් වේදිකාවක් සපයයි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සේවාවක් ආරම්භ කීරිමෙන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව තාන් මහතා මෙහි දී පෙන්වා දුන්නේය. දෙරට අතර වෙළඳ, ව්‍යාපාර සහ සංචාරක කටයුතු වැඩි දියුණු කිරීම සඳහා පවතින ප්‍රධාන බාධකය ලෙස පුද්ගලාන්තර සබඳතා අවම වීම බව ඔහු පෙන්වා දුන්නේය. දෙරට අතර නිරන්තර හා පහසු ගමන් බිමන් තුළින් අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අතර, එමඟින් ජනතාව අතර අභ්‍යන්තරික ධනාත්මක බවක් ඇති වන බව ඔහු පැවසීය. සෘජු ගුවන් සම්බන්ධකතාවයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති බවත්, ජනතාව අතර සම්බන්ධතා වැඩි කිරීම පිළිබඳව උප සභාපතිවරයාගේ අදහසට එකඟ වූ බවත් තානාපති ගමගේ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

VN Expo සහ ITE 2021 සඳහා සහභාගීත්වයට අතිරේක වශයෙන් මෙම වසර තුළ දී ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අංශ කෙරෙහි අවධානය යොමු කරමින් වෙබිනාර් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට තාන් මහතා සහ තානාපති ගමගේ මැතිතුමා එකඟ වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.