අපෙන් ගිලිහෙන ජහුටා

පනහේ දශකය පමණ වන වන විට දේශිය යැයි කිවහැකි අංග සම්පුර්ණ වු කලාත්මක නාට්‍ය කලාවක් මෙරට නොවු නමුත් ගම්බද පැවතියා වු කෝලම්, සොකරි, නාඩගම්, තොවිල්, ගම්මඩු, පාම්මඩු, පුනාමඩු, කංකාරි ආදියෙහි නොදියුණු තත්ත්ව මත වුව ද යම් යම් නාට්‍ය අංග තිබු බව ලක්දිව සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදාය පිළිබදව විශ්ලේෂණයක යෙදෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවසයි. ජහුටාන් ගීත නාටක සම්ප්‍රදාය මෙරට ඈත ගම්මැදිවල ජනගත වීමෙන් පසුව බොහෝ දෙනෙකු කට වහරේ පහසුවට ජහුටා නමින් හදුන්වා ඇත.

කුරුණෑගල, කටුපොත, සියඹලන්ගමුව ප්‍රදේශයේ 1940 දශකයේ තරම් ඈත අතීතයේ ජීවත් වු සර්ධාපතී මහතා දකුණු ඉන්දියාවේ දී දුටු ජහුටාන් නම් නාට්‍ය විශේෂය යළි මෙරටට පැමිණ පෙන්වීම ඇරැඹීම මෙහි මූලාරම්භය ලෙස සැලකේ. සර්ධාපති මහතා සර්ධාරාණි කලා සංගමය පිහිටුවා දෙබස් කථන මුද්‍රා නාට්‍ය හෙවත් ගීත නාටක නිර්මාණය කොට දිවයිනේ ගම්මැදි ආශ්‍රිතව දේශීය ශිල්පීන් සමඟ රඟ දැක්වීය.

භරත මුනිවරයාගේ නාට්‍ය වර්ගීකරණයට අනුව නාට්‍ය ධර්මී සම්ප්‍රදායට ගැනෙණ, සතර අභිනයම මනාව නිරූපනය වන දෙබස්, කථන, මුද්‍රානාට්‍ය විශේෂයක් ලෙස වර්තමානය තුළ ද මෙම නාටක ගම්මැදිවල රංග ගත වේ. නාට්‍ය රංගනයට පෙරාතුව සරස්වතිය උදෙසා පුජා නැටුම පැවැත්වීම මෙහි තවත් විශේෂත්වයකි.

මුල් වකවානුවේ කුරුණෑගල, කටුපොත, වාරියපොල ආදි ප්‍රදේශවල රඟ දක්වා ඇති මෙම නාටක යාබදව පිහිටි අනුරාධපුරයේ ගම්මැදිවලට ද පසුකාලීනව ව්‍යාප්ත වී ඇති අතර පිහිටි බිමෙහි සැකසු පටු එළිමහන් වේදිකාවක පැදුරේ වාඩිලාගත් ශිල්පීන් වයන ඩොලැක්කිය, සර්පිනාව, බටනලාව, ගැට බෙරය, රබාන ආදී සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ මධ්‍යයේ මෙම ගීත නාටක රඟ දක්වා ඇත. නළු, නිළියන් රඟන අතර තවත් ශිල්පීන් පිරිසක් පසුබිමෙහි හිද ජවනිකාවට අදාළව හඬ මුසු කරයි. ගී ගායනා සඳහා තවත් ශිල්පී කණ්ඩායමක් සිටිති.

ගම්මැදිවල අස්වනු නෙළන වකවානුවත් සමඟම මෙම නාට්‍ය රඟ දැක්වීම සිදු විය. නමුත් මේවන විට නාට්‍ය පෙන්වන අයුරු වෙනස් වී ඇත. ඒ කාලේ මුලින් කෙටි නාට්‍යයක් පෙන්නලා පස්සේ පැය තුනක් විතර දිග නාට්‍යයක් පෙන්නුවා. ඒත් දැන් කෙටි නාට්‍යයක් පෙන්නන්නේ නැත. මුදල් හොයන අවශ්‍යතාව ඉස්සරහට පැමිණීම හමුවේ රෑ 09 ඉදලා 12යි30 විතර වෙනකන් සින්දු කියන්න කැමැති අයට ආධුනික ගීත ප්‍රසංගය පවත්වේ. එතැන ඉඳලා පාන්දර තුන විතර වෙනකන් සල්පිලයි, මල් වට්ටි වෙන්දේසියයි පැවැත්වේ. ඒ හැමදේම අවසන්ව පාන්දර තුනට විතර පටන් අරගෙන උදේ හය විතර වෙනකන් ගීත නාට්‍ය පෙන්වීම සිදු වේ. නමුත් මේ සියල්ල වත්මනේ නම් වියැකී ගොසිනි. ඉදිරියේදී මේවා සුලභව හෝ දැකගන්නට හැකි වේ දැයි ප්‍රශ්ණයකි.

ඓතිහාසික කතා පුවත්, ආගමික පණිවුඩ සහිත නාට්‍ය මෙන්ම සමාජ හා උපදේශාත්මක කතා මෙම ගීත නාටක සදහා තේමා වන අතර ප්‍රේමය, විරහව, වීරත්වය සේම හාස්‍යය ද මේ බොහොමයක් නාටකවල පොදු ප්‍රවනතාවන් ලෙස හදුනාගත හැකිය. සිරිසගබෝ, විහාරමහාදේවි, රාමායනය, සකුන්තලා එවැනි නාටක කිහිපයකි. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවල ඇරුනහම අනිත් මාසවල ජහුටා නාට්‍ය පෙන්වීම එදා සිදු විට.

සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩවලින් බැහැරව නුතන වාද්‍ය භාණ්ඩ භාවිතය ගීත නාටක කලාවේ ගතානුගතික බව විනාශ වීමට හේතුවී ඇති බව ද මේ වන විට පෙනෙන්නට තිබේ. නමුත් වසර තිහක පමණ කාලයක සිට සාම්ප්‍රදායික බව ආරක්ෂා කරමින් මෙම කලාව අනාගතයට දායාද කිරීමට සාම්ප්‍රදායික කලාකරුවන් පිරිසක් කටයුතු කරන බව නොරහසක්. තවමත් මෙම ගීත නාටක කලාව නගරබදව ප්‍රචලිතව නැති අතර, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක හැරුණු විට සෙසු ප්‍රදේශවල මේ පිළිබඳව දැනුවත් බවක් ද නැති බවද කණගාටුවෙන් යුතුව කිව යුතුය.

අශ්වරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.