මෙරට ප්රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක ඉහළ වර්ධනයක් වාර්තා කර තිබේ.
මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළ ම අගය වේ. එක් දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්වනු ඇත.
ඒ අනුව දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි.
මීට පෙර 2011 පෙබරවාරි 15 දින ඒකක 255 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වීම මෙතෙක් තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගය ලෙසින් පැවතිනි. මේ අතර අද දින රු. බිලියන 12.46 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීමද විශේෂත්වයකි.