දෙවියන්ට ලං විය හැකි, ලෝක උරුමයක් වූ කුම්භමේලා

කුම්භමේලාව යනු ඉතා පැරණි පුජනීය උත්සවයක්. ඉතා සරලව හඳුන්වා දීම නම් “කුම්භමේලා” යනු ලොව වැඩිම පිරිසක් එක්රැස්වී පවත්වන පූජනීය උත්සවයකි.

මිලියන හැත්තෑවක් පමණ දෙනා සෑම කුම්භමේලාවකටම අවම වශයෙන් සහභාගී වෙති. අද වන විට යුනෙස්කෝව මගින් කුම්භමේලාව ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත. ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වන කුම්භමේලාව උදෙසා ඉදිකරනු ලබන තාවකාලික නගරය ලෝකයේ විශාලතම තාවකාලික නගරය ලෙස ද වාර්තාගත වනු ඇත.

කුම්භමේලා උත්සවය පැවැත්වෙන්නේ සුවිශේෂි ස්ථාන හතරකි. එක් වසරකට එක් ස්ථානයක පමණක් පැවැත්වෙන කුම්භමේලාව දෙවියන්ගේ උත්සවයක් ලෙස හින්දු ජනයා විශ්වාස කෙරේ. මෙම ස්ථාන හතර නම් අලහබාද්හි ප්‍රයාග්රාජ්, හරිද්වාර්, නාසික් හා උජ්ජේනි වේ. මෙම ස්ථාන හතරම ගංගා කීපයක ඉවුරුවල පිහිටා ඇත. විශ්වාසයේ එන පරිදි විෂ්ණු දෙවියන් අමෘතය බින්දු හතරක් එම ස්ථාන හතරට හලා ඇත. එම නිසා කුම්භමේලාවන්ට සහභාගී වීමෙන්, දෙවියන්ට ළං විය හැකි බව විශ්වාස කරයි.

ප්‍රයාග්‍රාජ් හිදි ගංගා, යමුනා හා පුජනීයත්වයෙ විශ්වාසයක් වන සරස්වති යන ගංගා ත්‍රිත්වය එකට හමුවේ. එය “ත්‍රිවේණි සංගම්” ලෙස හඳුන්වයි. ඉන්දියාවේ ප්‍රධානතම ජෝතිෂ්‍ය ලිත වන ‘වික්‍රම් සම්වත්’ නම් ලිතට අනුව උදා වන ග්‍රහමාරු විමසා එම සුබ දින නම් කරනු ලබයි. කුම්භමේලාව සැමරීමට කොපමණ දුර ගෙවා හෝ සියලු සන්නාසිය, සාධුවරුම මෙන්ම නිගණ්ඨ පිරිස්ද පැමිණෙති ඔවුහු බෙර වයමින්, සාජන් ගායනා, ස්තෝත්‍ර කියමින් විවිධ පුද පුජා කරමින් උත්සවයට එක් වෙති.

කුම්භමේලා සැණකෙළියේ ඉතිහාසය දහ අටවන ශතවර්ෂය දක්වා දිවෙන්නෙක්. එම උත්සවය ඉන්දියාවේ පහළ වූ “ශිලා බිත්‍ය” නම් වූ රජු දවස ආරම්භ වූ බවට විශ්වාසයක් කරන අතර චීන දේශාටකයකු වූ හියුං සෑං හිමියන්ගේ දේශාටන වාර්තාවලද එවැනි උත්සවයක් පිළිබඳ වාර්තා වේ.

“කුම්භමේලාව” යන වචන‍ය සරලව ගෙන බලන විට කුම්භ යනු කළයයි මේලා යනු උත්සවයකි. මෙහිදි ජලය මූලික කොට පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් එම නම ඉතිහාස‍යේ පටන් ව්‍යවහාර වන්නට ඇත. ප්‍රධාන වශයෙන් කුඩා කළ භාවනා කරමින් ස්නානය කිරීමේ චාරිත්‍රය ඊ‍ට බලපාන්නට ඇත. මුළු ලෝකයම පුදුම කරවන්නා වූ කුම්භමේලා උත්සවය වර්ග තුනකි. පළමු වැන්න මහා කුම්භමේලාවයි. එය අවුරුදු එකසීය හතළිස් හතරකට වරක් උදාවන සුබ නැකැත් දිනයන්හිදී පැවැත්වේ. 2013 වසරේදී අවසාන මහා කුම්භමේලාව උදාවූ අතර එය අලහබාද්හි ප්‍රයාග්‍රාජ්හිදී පැවැත්විණි.

දෙවැනි වර්ගය පූර්ණ කුම්භමේලාවයි. එය අවුරුදු දොළහකට වරක් පැවැත්වේ. තෙවැනි වර්ගය නම් අර්ධ කුම්භමේලාවයි. එය වාර්ෂිකව පැවැත්වේ.

කුම්භමේලා උත්සවයට සහභාගී වීම භාග්‍යයක් ලෙස සලකන්නට ඔවුහු හුරු වී සිටිති. ඊට හේතුව ඉන්දියාවේ සිටීයැයි විශ්වාස කරනු ලබන අවුරුදු සිය ගණනක් වයසැති මුනිවරයෙකි. “බාබාජී” නමින් හැඳින්වෙන එම මුනිවරයා භාවනා කරමින් දීර්ඝායුෂ විඳින බවට විශ්වාස කරයි. “බාබාජී” මුනිවරයා කොපමණ කල් ගියද වයසට නොයන තරුණ පෙනුමකින් යුත්ත වූවකු ලෙස සැලකේ. දෙවියන්ගේ අවතාරයක් ලෙස එම මුනිවරයා පිළිබඳ භක්තිමත් වන හින්දු ආගමිකයෝ කුම්භමේලාවෙදී තමන්ට මුනිවර බාබාජී මුණ ගැසෙනු ඇතැයි බලාපොරොත්තු වෙති. බාබාජීතුමා සිල්වතුන් හමුවී කතා කරන බවත්, කිසිවෙකුට ඔහු හඳුනාගත නොහැකි බවටද විශ්වාසයක් වේ. ඒ නිසා කුම්භමේලාව ඔවුන්ට වටිනාම උත්සවයකි.

සෘග් වේදයේ සඳහන් වන්නේ එලෙස ගංගාව එක්වන ස්ථානයන්හි ස්නානය කිරීමෙන් දිව්‍යලෝකයට ළඟා වීම ඉක්මන් බව බවයි. කුම්භමේලාවට සහභාගී වන ඇතැමුන් විවිධ කලබලකාරි වාතාවරණ හේතුකොට ගෙන ජීවිතය පූජා කරන අවස්ථාද නැතුවා නොවේ. 1820 වසරේදී හරිද්වාර්හි පැවති කුම්භමේලාවක සිදු වූ කලබලකාරී තත්ත්වයකින් 485 දෙනකු මිය ගිය අතර 1954 වසරේදී 800 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විවිධ ධර්ම සාකච්ඡා, ගීත ගායනා, ආලෝක පුජ, දන්සල් ආදී විශේෂ කටයුතු මෙන්ම ප්‍රධානම පූජාව වන ස්නානය කිරීමද සිදුවන්නේ ඉතා බැතිබරවය.

උතුරු ඉන්දිය රජය විසින් ඉන්දියා රුපියල් මිලියන 42,000 කට අධික වියදමින් කුම්භමේලා සැණකෙළිය පැවැත්වීමට කටයුතු සකසනවා. ඒ අනුව උතුරු ඉන්දියාවේ අලහබාද්හි ප්‍රයග්‍රාජ් හි ත්‍රිවේතී සංගම්හි කුම්භමේලාව පැවැත්වෙනු ඇත. දසදෙසින් පැමිණෙන මහ ජනයා වෙනුවෙන් හෙක්ටයාර් 2500 ක වපසරියකින් යුතු නගරයක් ඉදිවෙමින් ඇත. එම නගරයේ ඇති සියලු ගොඩනැගිලි වර්ණවත්ව ඉන්නේ මෙවර කුම්භමේලාව උදාවන තුරුය.

උත්සවය වෙනුවෙන් තාවකාලික වැසිකිළි 122,000න් මෙන්ම අනෙකුත් නේවාසික ගොඩනැගිලි ද සකස් කොට ඇත. මේ බිමට ඇදී එන ලක්ෂ ගණන් බැතිමතුන් උදෙසා විශේෂ දුම්රිය 800 ක් හා විශේෂ ගුවන් ගමන් වාරද සකසා ඇත.

  • අශන්ති වරුනසුරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.