නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ නෞකාවට එරෙහිව තවත් නඩුවක්

ඉන්දික ශ්‍රී අරවින්ද 

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ MT “නිව් ඩයමන්ඩ්” ඉන්දන ප්‍රවාහන නෞකාවේ ඉන්දන මුහුදු තීරයට එකතු වීම නිසා සිදු වූ පරිසර හානියට වන්දි  ලබා ගැනීම සඳහා එම නැව් සමාගමට එරෙහිව නීතිපතිවරයා හමුවේ  කරුණු දැක්වීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.

එම අධිකාරියේ (MEPA) සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම නෞකාවේ ඉන්දන කාන්දු වීම නිසා පරිසරයට සිදු වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් විසින් සකස් කල තක්සේරු වාර්තාවක් ලබන සතිය තුළදී නීතිපතිවරයාට භාරදීමට නියමිතව ඇති බවයි.

එම නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා රුපියල් මිලියන 442ක්ද,නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව ගොනු කළ අපරාධ නඩුවෙන් වරද පිළිගැනීම නිසා තවත් රුපියල් මිලියන 12ක්ද වශයෙන් රුපියල් මිලියන 454ක මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට එම නැව් සමාගම විසින් කටයුතු කර ඇත.

ඒ අනුව පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් තවත් වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයටලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.
දැනට ලැබී ඇති වන්දි මුදලින් නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ අනෙකුත් පාර්ශව කරුවන්ට රුපියල් මිලියන 390ක මුදලක්ද,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (MEPA) රුපියල් මිලියන 45ක මුදලක්ද මහ භාණ්ඩාගාරයෙන් වියදම් පියවා ගැනීම සඳහා ලබා ගෙන ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවට නැගෙනහිර වෙරළ තිරයේ සිට නාවික සැතපුම් 38කට දුරින්  ගිනිගෙන ඇති මෙම නෞකාව කුවේට්හි මීනා අල් අහ්මදි වරායේ සිට ඉන්දියාවේ ඔඩිෂාහි වරාය බලා ඉන්දන ප්‍රවාහනය කරමින් තිබෙන අතර තුර පසුගිය වසරේ සැප්තැම්බර් 3 වැනි දින  හදිසියේ ගිනි ගැනීමකට ලක් විය.

එම අවස්ථාවේදී නෞකාවේ සිටි නාවිකයින් 22 දෙනෙකු මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වූ අතර එම කාර්ය මණ්ඩලයේ එක් පිලිපීන ජාතිකයෙකු ජිවිතක්ෂයට පත් විය. නෞකාව ගිනි ගන්නා අවස්ථාවේදී එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000 ක් සහ ඩිසල් මෙට්‍රික් ටොන් 1700 ක් ද තිබුණි.

මෙහිදී නැව ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා එම අවස්ථාවේදී දකුණු ආසියානු කලාපීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණය කිරීමට සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය කටයුතු කර තිබේ.

කෙසේ හෝ නෞකාව මුදවා ගැනීමේ මෙහෙයුම අතර තුරදී දැක ගන්නට ලැබී ඇත්තේ නෞකාවේ ඇති වූ යම් ඉන්දන ප්‍රමාණයක් මුහුදට කාන්දු වී ඇති බවයි. එමගින් යම් බලපෑමක් සාගරයට සිදු වී ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කණ්ඩායම විසින් අනාවරණය කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.