සංහිදියාවේ දිනයක් වන තෛයිපොංගල් දිනට නායකයින්ගෙන් සුභ පැතුම්

ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම තමාගේත්, රජයේත් ඒකායන පරමාර්ථය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි අඩංගු වන්නේ ඊට මග පාදන ක්‍රියාදාමය බවයි තෛපොංගල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ කළගුණ සැළකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බවය.

මානව සමාජයේ බුහුමනට පාත්‍රව ඇත්තාවූත් යහගුණ සලකුණු කරන්නාවූත් තෛපොංගල් උළෙලට එක්වන ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පිරිනමයි.

ස්වභාව ධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම, කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලූ ආගම්වල මානුෂීය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකට වෙනස් වුවද අප සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව ඔහු නිකුත් සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

අභියෝගාත්මක කාල වකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලූ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැප වී සිටින බව ද ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිදියාවේ දිනයක් බවට තෛයිපොංගල් දින උත්සවය පත් වනු දැකීම අප සැමගේ අපේක්ෂාව බවයි අගමැතිවරයා සිහිපත් කරයි.

අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. වර්තමානයේ සොබාදහමට එරෙහිව යාමේ අනිටු පලවිපාක සමස්ත ලෝකයම භුක්ති විඳිමින් සිටින බවද ලෝක ව්‍යසන රැසකට දොරගුලූ විවරකොට ඇත්තේ මිනිසා විසින්ම බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක ,සොබාදහම හා බැදුනු තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරන බවද ලෝකයට අවශ්‍ය වන්නේ සංහිඳියාව බවද ඒ උදෙසා මානව සංහතියට පැවරී ඇති වගකීම අති මහත් බවද තෛපොංගල් උත්සවය ද ඒ උදෙසා පාලමක් බවට පත් කරගන්නේනම් ලෝකය වඩාත් සුන්දර වනු ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් සුභ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.