අශන්ති වරුනසුරිය
ලොවක් හැඩවූ කොවිඩ් 19 පසුබිම් කරගත් චිත්රපටයක් නිර්මාණය කිරීමට ඉරාන සම්භවයක් සහිත සිනමාකරුවකු වන මොස්ටෆා කෙෂ්වාරි සමත්ව ඇත.
මෙය රූ ගත කර ඇත්තේ, කැනඩාවේ වැන්කුවර් නගරයේදීයි. චිත්රපටය නම් කර ඇත්තේ, කෙරෝනා ලෙසයි. මෙය තට්ටු නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළ සිරවෙන කිහිපදෙනෙකු වටා ගෙතුණු නිර්මාණයකි.
මෙම විදුලි සෝපානය තුළ චීන තරුණියක් සිටින අතර, ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනේ.
ඇයගෙන් තමුන්ට ද එය බෝවිය හැකි බවට සෙසු සියලු දෙනා තුළ විශාල බියක් සැකයක් ඇති වේ. නව කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පැතිරෙමින් පවතින චීන විරෝධී ජාතිවාදී හැඟීම් පිළිබඳ අවධානය යොමු කිරීම මෙම සිනමාපටයේ අරමුණ බව අධ්යක්ෂ කෙෂ්වාරි සඳහන් කර තිබිණ.
මේ වනවිට එහි වැඩ කටයුතු අවසන්ව ඇති බවත්, ඉදිරියේදී එය අන්තර්ජාලය හරහා නිකුත් කිරීමට නිෂ්පාදකයින් අදහස් කරන බවත් වාර්තා වේ.