ශ්රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලට සහාය දීම වෙනුවෙන් යූරෝ මිලියන 35.75 ක හෙවත් රු. බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සඳහා ගිවිසුම් තුනක් යුරෝපා සංගමය ශ්රී ලංකාව සමඟ අත්සන් කර ඇත.
යුරෝපා සංගමය විසින් ශ්රී ලංකාවට පිරිනමන සහයෝගීතාව, දැඩි මිත්රශීලී සබඳතාව හා සහාය පිළිබඳව භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතා මෙහිදී පැසසුමට ලක් කරමින් මෙම ගිවිසුම් ත්රිත්වය හරහා ලැබෙන මුදල්, අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීමටත්, උසස් තත්ත්වයෙන් යුතු අපනයන භාණ්ඩ නිපදවීමේත් ශ්රී ලංකා රජයේ වැඩපිළිවෙලට විශාල ශක්තියක් වනු ඇති බව ද පැවසීය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබි යන මහත්වරු සහභාගී විය.