කොළඹ ප්‍රදේශ 2ක් යළි හුදකලාවීමේ අවදානමක

කොළඹ ප්‍රදේශ 02ක ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් නැවත එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ ඉඩකඩ ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් එළෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් ඇත. අවදානම යළිත් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසිය.

මේ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කරයි. මේ අතර කොළඹ නගරයේ දීර්ඝ කාලයක් හුදකලා කර තිබූ පොලිස් වසම් සියල්ලම මේ වනවිට හුදකලා බවින් මුදාහැර තිබේ.

මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 24 දෙනෙකු ඊයේ (12) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට පත්වූ සංඛ්‍යාව 2462කි. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අද (13) දින සිට යළි ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.