ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් මාස 03කට යළිත්

තෙමසක සීමිත කාල සීමාවක් තුළ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය නාමික ව නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම ආයතනය 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා තෙමසක කාලයක් සඳහා විවෘත කිරීමට නියමිතය.

මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම ආයතනයේ ඇති ඉතිරි තැන්පතුවලින් සියයට 50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම (ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් ඉන් අවසර ලැබේ.

මේ අතර, ඊටීඅයි ෆයිනෑන්ස් සමාගම වසා දැමීම සඳහා සුදුසු අධිකරණයකට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමට පියවරගන්නා ලෙස බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එම සමාගම මුහුණදුන් මූල්‍ය අර්බුද සහ එය යථා තත්ත්වයට පත්කිරීමට සුදුසු සැලැස්මක් නොතිබූ හෙයින් එම සමාගමේ ව්‍යාපාර කටයුතු 2020 ජුලි 13 වනදා සිට අත්හිටුවීමට පියවර ගැනුණි.ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

ETI මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පවතින කොවිඩ් අවදානම හේතුවෙන් අද නඩු වාරයට කැඳවා තිබුණේ නැහැ.

2012 වර්ෂය වනවිට ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතන බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව මහබැංකු නියාමනයට හසුවී තිබුණ ද ඉන් පසුවත් එම ආයතන දිගින් දිගටම තැන්පතු භාරගැනීම සිදුකර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට සඳහන් කළේය.

2018 දී මහබැංකුව විසින් මූල්‍ය කළමනාකරණ මණ්ඩලයක් පත් කර මෙම ආයතන දෙකෙහි පරිපාලනය සම්පූර්ණයෙන් ඒ යටතට ගන්නා අවස්ථාව වන විට ඊ.ටී.අයි ආයතනයේ රුපියල් බිලියන 6.4ක් සහ ස්වර්ණමහල්හි රුපියල් බිලියන 7.2ක් වගකීම් ලෙස තිබූ බව ඇය පැවසුවාය.

එම රුපියල් බිලියන 13.6ක් වූ මුළු තැන්පතු මුදල් මෙම ආයතන පවත්වාගෙන ගොස් තිබුණේ මහබැංකු නියාමනයට හසුනොවන අයුරින්, හෙළි නොකළ ගිණුම් ලෙස බවත් ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය. ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ සඳහන් වංචාව සහ සාපරාධී විශ්වාසය කඩකිරීම යන වරද මෙම හිටපු අධ්‍යක්ෂවරු සිදුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

එමෙන්ම මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යාම තුළ මුදල් විශුද්ධිකරණ පනතේ වරදක් ලෙස ගැනෙන කළු සල්ලි පවත්වාගෙන යාම ද එම සැකකරුවන් සිදුකර ඇතැයි ඇය පෙන්වා දුන්නේය. ආයතන දෙකෙහි පැවති මෙම බරපතළ මූල්‍ය අර්බුදය මහබැංකු නියාමනයට හසුවූ අවස්ථාවක හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය පවසා තිබුණේ ”ස්වර්ණවාහිනිය” විකුණා තැන්පතු මුදල් ගෙවිය හැකි බවය.

සැකකරුවන් එම ආයතන දෙකෙහි හතලිස් තුන්දහසක් වූ තැන්පතුකරුවන්ට ගෙවීමට තිබූ බිලියන 13ක මුදල නොගෙවා තිබුණ ද එම තැන්පතු මුදල්වලින් රුපියල් මිලියන 33.2ක වටිනාකමකින් යුත් මෝටර් රථ පුද්ගලිකව මිලදී ගෙන ඇති බවත් පවුලේ සාමාජිකයින්ගේ නිවෙස් සෑදීමට, ඔවුන්ට අයත් සිනමාශාලා අලුත්වැඩියා කිරීමට මෙම තැන්පතු මුදල් යොදාගෙන ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට කරුණු අනාවරණ කළාය.

සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඔවුන්ට ඇති බලය නිසා විමර්ශනයේ සාක්ෂිකරුවන්ට බලපෑම්කිරීමක් සිදුවිය හැකි බවත් විමර්ශනයට අදාළ වැදගත් ලිපිලේඛන විනාශ කිරීමට හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. එම නිසා ඔවුන්ට ඇප ලබාදීමට තමන් විරුද්ධ බව ඇය කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.