වාසුගේ කොවිඩ් ආශ්‍රිතයින් දයාසිරිට වඩා වැඩිවන ලකුණු

ඉන්දික ශ්‍රී අරවින්ද

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් අමාත්‍යවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව සඳහන් වෙයි.

පාර්ලිමේන්තු CCTV දර්ශන මගින් වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින් 10 දෙනෙකුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙයි. ඉතිරි 15 දෙනා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අතර එම මන්ත්‍රීවරු අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර,අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන යන අමාත්‍යවරු ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තු මැති ඇමතිවරු තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. Colombo Gazette වෙබ් අඩවිය විසින් වාසුදේව අමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ  පසුගිය ජනවාරි 3 වැනිදා සිට වාසුදේව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ උත්සව අවස්ථා කිහිපයකටම අමාත්‍යවරයා සහභාගී වී ඇති බවයි.

එම අවස්ථා මෙසේය…

ජනවාරි 3 වැනිදා මාධ්‍ය හමුවක්ද බත්තරමුල්ල අමාත්‍යංශයේදී පවත්වා ඇති අතර ජල සම්පාදන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනයන්හි මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත් වී ඇත්තේ පසුගිය 4 වැනිදාය. පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවට සහභගි වීමෙන් අනතුරුව බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී 2020-2024 කාලය තුලදී සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙලට සමගාමීව සැමගේ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේ වැඩමුළුවකට අමාත්‍යවරයා සහභාගී වී තිබේ.

එදිනට යෙදී තිබුණ අමාත්‍යවරයාගේ 82 වැනි උපන්දින උත්සවයටද විශාල පිරිසක් සහභාගි වී ඇති අතර එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද සහභාගී වී ඇත. එයින් අනතුරුව අවස්ථා තුනකදීම පාර්ලිමේන්තු සැසිවාර සඳහාඅමාත්‍යවරයා සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර පසුගිය 3 වැනිදා සිට 10 වැනිදා දක්වා වාසුදේව අමාත්‍යවරයාගේ මාධ්‍ය ආවරණ කිහිපයක්ම පැවති අතර එයට සහභාගී වූ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් වෙනත් මාධ්‍ය ආවරණ 100කට ආසන්න සංඛ්‍යාවකට සහභාගී වී ඇති බවයි අප කළ විමසුමකදී අනාවරණය වී ඇත්තේ. දැනට 82 හැවිරිදි වාසුදේව මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙයි.

මේ අතර පසුගිය 3 වැනිදා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවෙන් අනතුරුව එම මාධ්‍යවේදීන් සහභාගී වූ මාධ්‍ය ආවරණයන් මෙසේය. ජනවාරි 3 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුව, 4 වැනිදා ජල සම්පාදන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනයන්හි මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම, 4 වැනිදා පැවති පන්නිපිටිය ප්‍රදේශයේ මාධ්‍ය ආවරණයක්, එදිනම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුව, 5 වැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පැවති පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙලට සමගාමී වැඩමුළුව, එදිනම පරිසර අමාත්‍යංශයේ පැවති මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුව, එදිනම රාජගිරිය ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ පැවති මාධ්‍ය ආවරණය, එදින සවස වාසුදේව අමාත්‍යවරයාගේ උපන් දින උත්සවය, 6 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ සම්මන්ත්‍රණය, 7 වැනිදා යුද හමුදා මුලස්ථානයේ හමුදාපතිගේ මාධ්‍ය ආවරණය, 8 වැනිදා BMICHහි පාස්කු කොමිසම, 9 වැනිදා පුජ්‍ය අක්මීමන දයාරතන හිමි මාධ්‍ය හමුව, 10 වැනිදා සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුව, එදිනම ජනතා විමුක්ති පෙරමුණේ සම්මන්ත්‍රණය,11 වැනිදා මැඩිල්ලේ හිමි මාධ්‍ය හමුව යන මාධ්‍ය ආවරණ කිහිපයක් හඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.