සුපිරි බිලියනපතියව චීනය අතුරුදහන් කෙරෙව්වද ?

අශන්ති වරුනසුරිය

අලිබබා සමූහයේ නිර්මාතෘ ජැක් මා ගතවූ මාස කිහිපය තුලක කාලයේදී අතුරුදහන් වී ඇති බවට රොයිටර් ඇතුළු බොහෝ විදෙස් මාධ්‍ය පවසයි. මෙකී බිලියනපතියාගේ අතුරුදහන් වීම සැකසහිත බවට විවිධ දේ සදහන් වෙමින් මේ පිළිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබේ.

ඔහු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චීන පාලනය සහ ආර්ථික නියාමනය විවේචනය කිරීමෙන් පසුව මෙලෙස අතුරුදහන් වීම මේ වන විට බෙහෙවින්ම කතා බහට ලක් වේ. එතැන් සිට මේ දක්වා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා වී නොමැති අතර ඔහු කිසිදු මාධ්‍ය සාකච්ජාවකට හෝ ප්‍රසිද්ධියේ පෙනී සිටීමකට සහභාගීවී ද නැත.

ඔහුගේ මේ සැක සහිත අතුරුදහන් වීම ගැන බොහෝ දේ පැවසේ. ඔහු නිවාස අඩස්සියේ හෝ අත්අඩංගුවේ පසුවන බවට සමහරු පවසද්දී තවත් සමහරෙක් පවසන්නේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමේ නීතියකට ජැක්මා යටත් කර ඇති බව. ජැක් මා ගේ නවතම වත්කම ඩොලර් බිලියන 50ක් ලෙස දැක්වේ. එය ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය මෙන් සියයට 60කට ආසන්න වේ.

පසුගිය ඔක්තෝම්බර් 24 වනදා ජැක් මා ප්‍රසිද්ධියේ පෙනීසිටි අවස්ථාවක ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබිණි. ඈන් සමාගමට චීනය බලපෑම් කරමින් සිටින බවත් පවසමින් ජැක්මා වැඩි දුරටත් පවසා තිබුණේ චීනයේ වත්මන් ක්‍රමය වෙනස් විය යුතු බවත් තරුණයන් නව යුගයකට සූදානම් විය යුතු බවත්ය.

එම ප්‍රකාශයෙන් සති කිහිපයකට පසු ඈන් සමුහයෙන් ඩොලර් බිලියන 48ක මූලික කොටස් නිකුතුව අත්හිටුවීමට චීනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එය ක්‍රියාත්මක වුණානම් ෂැන්හැයි කොටස් වෙළදපළ ලෝකයේ විශාලතම අගයක් සහිත කොටස් වෙළඳපල බවට වීමට ඉඩ ඇත. ඒ සමගම ජැක් මා ට රටින් බැහැර වීම තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ. එමෙන්ම අලිබබා සමාගමේ විශ්වාසය සම්බන්දයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි.

ඈන් සමාගමට ණය ලබා දීම සහ පාරිභෝගික සේවා පැවැත්වීම තහනම් කිරීමක් ද මේ අතර සිදුවී ඇත. චීන රජය විවේචනය කර මාස 2ක් තුල ජැක් මා ගේ පුද්ගලික වත්කම ඩොලර් බිලියන 12කින් පහත වැටීමක් ද සටහන් වේ. ජැක්මාගේ අභිරහස් අතුරුදහන් වීම සම්බන්දයෙන් ප්‍රතිචාර දැක්වීම ඈන් සමූහය විසින්ද මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එම සමාගමට අදහස් දැක්වීම සීමා කර ඇති බවක් ඔවුන්ගේ හැසිරීමෙන් පෙනී යන බවය.

ජැක්මා විසින් බිස්නස් හීරෝස් නමින් අප්‍රිකාවේ වියවසායකයන් තේරීමේ තරඟයක්ද සංවිධානය කර තිබිණි. එහි විනිසුරු මඩුල්ලේ ද ඔහු සිටි අතර පසුගිය නොවැම්බර් මස එම තරඟාවලියේ අවසන් තරඟාවලිය පැවැත්වුවත් ඊට ජැක්මා සහභාගී නොවුයේ ඔහුගේ අධික කාර්ය බහුලත්වය නිසා බවට සදහන් කරමින් අලිබබා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

2019 චීනයෙන් පලා ගිය ගුවෝ වෙන්ගුයි පවසන්නේ ජැක් මා මිය යාමට හෝ සිර කඳවුරක රඳවා සිටීමට ඉඩ ඇති බවට. විදෙස් මාධ්‍යකට අදහස් දක්වමින් ගුවෝ පවසා ඇත්තේ ජැක් මා ගේ ව්‍යපාර සමූහය යටත් කර ගැනීමට චීන පාලනය කටයුතු කරනු ඇති බව ඔහු මීට ඉහතදීම අනතුරු ඇගවූ බවට. ඒ චීනයේ සත්‍ය හෙලිකරන්නන් සහ කොමියුනිස්ට් පක්ෂ හෙළි කරන්නන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සැලකීම මතය.

කෙසේවෙතත් එය සතයක් බවට පසක් වන්නේ පසුගියදා කොරෝනා ගැන හෙළිකළ මාධ්‍යවේදිනියකට ද වසර 4ක සිර දඩුවම් ලබා දීමට චීනය කටයුතු කිරීමෙනි. චීනයෙන් පලා ගොස් සිටින චීන ජාතිකයින් රැසක්ම ජැක් මා ගේ අතුරුදහන් වීම සම්බන්දයෙන් කණගාටුව පල කර තිබේ.

චීනය නිදහස් අදහස් දැක්වීමට උචිත ස්ථානයක් නොවන බැවින් මේ අවධානම නිර්මාණය වන බව ඔවුන් පවසති. ඒ අනුව සුපිරි බිලියනපතියාගේ හදිසි අතුරුදහන් වීම ජාත්‍යන්තරය දැඩි අවධානයට ලක්ව තිබෙන කරුණක් බවට පත්ව තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.