බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරය අද සිට ආරම්භ කෙරිණි. නැගෙනහිර පතේ පාසල් 32ක් , උතුරු පළාතේ පාසල් නවයක්, මධ්‍යම පළාතේ පාසල් හතරක්,සබරගමුව පළාතේ පාසල් 14 ක් , දකුණු පළාතේ පාසල් අටක් සහ වයඹ පලාතේ පාසල් දෙකක් අද දින විවෘත නො කෙරුණු අතර, එම පළාත්වල අනෙකුත් සියලු පාසල් ඒ අනුව අද විවෘත කරන ලදී .
ගුරුවරුන්ගේ සහ සිසු දරුවන්ගේ පැමිණීම සම්බන්ධයෙන් පළාත් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව, ග්‍රාමීය ප්‍රදේශයන්හි පිහිටි පාසල්වල ගුරු- සිසු පැමිණීම ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව සෑම පළාතකම හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයකි. බස්නාහිර හැර අද දින පාසල් පැවැත්වූ පලාත් අටෙහි සිසුන්ගේ පැමිණීමෙහි සමස්ත ප්‍රතිශතය 51% ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීමෙහි සමස්ත ප්‍රතිශතය 88% කි. සිසුන්ගේ පැමිණීමෙහි ඉහළ ම ප්‍රතිශතයක් පවතින්නේ ඌව පළාතේ වන අතර එය 71% කි . ගුරුවරුන්ගේ පැමිණීමෙහි ඉහළම ප්‍රතිශතය සියයට 95 ක් වන අතර,එය වාර්තා වන්නේ උතුරු පළාතෙනි.
covid නව සාමාන්‍ය තත්ත්වය හමුවේ පවතින අභියෝගය වගකීම් සහගත ව භාර ගනිමින්, දරුවන් පාසලට කැඳවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගත් තීන්දුව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අංග සම්පූර්ණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දායක වන සෞඛ්‍ය,ප්‍රවාහන ,ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත්රවල නිලධාරීන්ටත්, කාර්ය මණ්ඩලවලටත් අධ්‍යාපන ලේකම්වරයා තම කෘතවේදිත්වය පළ කර සිටී . එමෙන් ම , ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් මට්ටමින් විධිමත් ව ක්‍රියාවට නංවන්නට සහාය වන පළාත් කලාප, කොට්ඨාස අධ්‍යාපන නිලධාරීන්ට සහ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත ද විශේෂයෙන් ම, මේ පිළිබඳ නිරන්තර වාර්තාකරණයේ යෙදෙමින් ජනතාව දැනුවත් කරන සියලු මාධ්‍ය ආයතන වෙත ද අධ්‍යාපන ලේකම්වරයා ස්තූතිය පළ කළේ ය .