පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට උපදෙස් ලබා ගත් බවත් මේ වනවිට කෝවිඩ් 19 ආසාධිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටී සහ ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවත් දසනායක මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය අහඹු ලෙස තෝරා ගනිමින් පී.සී. ආර් (PCR) පරීක්ෂණ පවත්වන බව පැවසූ දසනායක මහතා ඉදිරි දින කිහිපය තුළදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම පී.සී. ආර් (PCR) පරීක්ෂණයන්ට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සමග කටයුතු යොදා තිබෙන බවද සඳහන් කළේය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉතා දැඩි ලෙස සෞඛ්‍ය රෙගුලාසි පවත්වාගෙන යමින් රාජකාරි කටයුතු සිදු කරන බවත් ඔවුන් ඉදිරියටත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවත් දසනායක මහතා පැවසීය.

මේ අතර, මීළඟ පාර්ලිමේන්තු රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා පස්වරු 2 ට රැස්වීමට නියමිතය.
එහිදි කථානායකතුමා සහ පක්ෂ නායකයන් ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මහ ලේකම් කාර්යමණ්ඩලය සූදානමින් සිටින බවද දසනායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.