හකීම්ගේ ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සෙවීම කඩිනම් කරයි  

 ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් වෛරසය ආසාදිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු වහාම ලබා දෙන ලෙසට ඊයේ (10) මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් දැනුම් දී තිබේ.

එහෙත් ඊයේ පස්වරුව වන විටත් එම තොරතුරු ලබා දීමට මන්ත්‍රීවරයාගේ පවුලේ ඥාතීන් කටයුතු කර නොමැති බව මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා Colombo Gazette වෙත පැවසිය.
හකීම් මන්ත්‍රී වරයා දින කිහිපයක් මහ නුවර පිහිටි ඔහුගේ නිවසේදී දින කිහිපයක් ගත කර ඇති අතර ඉන් පසුව කොළඹ කොල්ලුපිටියේ පිහිටි නිවසේ පවුලේ ඥාතීන් සමගත් ගත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

උපුල් රෝහණ මහතා සඳහන් කළේ මෙම තොරතුරු කඩිනමින් ලබා ගැනීමට නොහැකි වුවහොත් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් මගින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි. මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන පරිදි ගයන්ත කරුණාතිලක,තලතා අතුකෝරල,  එම්.ඒ.සුමන්තිරන්, එස්.රාසමානික්‍යම්, ෆයිසාල් කාසිම්, එම්.එම්.හරිස්, එම්.එස්.තවුෆික්, නසීර් අහමඩ් යන මන්ත්‍රීවරු ඒ අතර වෙයි. මෙයට අමතරව හකීම් මන්ත්‍රීවරයා ඇසුරු කළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුම මේ වන විට ස්වයං නිරෝධායනය වන ලෙසට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, CCTV දර්ශන යොදා ගනිමින් මෙම මන්ත්‍රීවරුන්   හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන් ඉදිරියේ දී පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (10) පෙරවරුවේ තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.