ඉන්දික ශ්‍රී අරවින්ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පසුගිය දින කිහිපය තුළදී ආ ගිය ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට සහ එහි කාර්ය මණ්ඩලයට අද (11) දින PCR පරීක්ෂණ සිදු කරන බවට කොළඹ මහ නගර සභා සෞඛ්‍ය අංශය විසින් ඔවුන්ට දැනුම් දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ආශ්‍රිතයන් ලෙස මෙම පිරිස් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් සියලු දෙනාම අද (11) දිනය තුළදී PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි.
පසුගිය පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා දයාසිරි අමාත්‍යවරයා සහභාගී වූ ස්ථාන පිළිබඳව ඇතුළත් CCTV දර්ශන සියල්ලම මේ වනවිට තම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දී තිබෙන අතර ඒ ඔස්සේ අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් සොයා පරික්ෂණ ආරම්භ කර ඇත.
එම CCTV දර්ශනවලට අනුව මේ වන විට අමාත්‍යවරයා සමීපව සිටි ප්‍රභූවරුන් කිහිප දෙනෙකුම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ. දැනට හඳුනාගත් ප්‍රභූ පිරිස් ඔවුන් සිටින ස්ථානයේදීම PCR පරීක්ෂණ සිදු කර නිරෝධානයට ලක් කරනු ලබන අතර අනෙක් පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද දින සිදු කෙරෙනු ඇත.
මෙයට අමතරව එම පක්ෂ මුලස්ථානයට පැමිණි තවත් 10 දෙනෙකුත්,දයාසිරි අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේ සිටි තවත් 8 දෙනෙකුත් ස්වයං නිරෝධායනය සඳහා මේ වන විට යොමු කර ඇති බව උපුල් රෝහණ මහතා පවසයි.
මේ අතර පසුගිය පළමු වැනිදා දයාසිරි අමාත්‍යවරයාට නව වසරේ සුබ පැතීමට සහ පසුගිය 4 වැනිදා මහජන හමුවට සහභාගී වූ 100 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇත.
හෙට්ටිපොළ ප්‍රදේශයේ දයාසිරි අමාත්‍යවරයාගේ නිවසේ පැවති පිංකමකට සහභාගී වූ හෙට්ටිපොළ අවට විහාරස්ථාන 7ක ස්වාමින් වහන්සේලා පිරිසක් ද ස්වයං නිරෝධායනය කිරීමට ද පියවර ගෙන තිබේ.
මෙහිදී දයාසිරි අමාත්‍යවරයා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාගේ නිවසේ උපන්දින සාදයකට ද සහභාගී වී ඇති බවත් ඔහුද ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහතා වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පසුගිය පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා ආ ගිය පිරිස අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,නිමල් සිරිපාල ද සිල්වා,මහින්ද අමරවීර,දුමින්ද දිසානායක ඇතුළු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුද සිටින බව දැනගන්නට තිබේ.