අමෙරිකානු ජාතිකයින් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 කුට පමණ මරු කැඳවු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබලදීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයකින් අධි චෝදනා ගොනු කර ඇති බව ඇසෝසියටඩ් ප්‍රෙස් වාර්තා කරයි.
මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිෆ්කාන් සහ අහමඩ් මිල්හාන් හයිදු මොහොමඩ් යන තිදෙනාට එරෙහිව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පෙන්වාදෙන්නේ අදාළ සැකකරුවන් තිදෙනා අයි.එස්.අයි.එස් සංවිධානයේ ආධාරකරුවන් බවය.
ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ එල්ල වූ පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම, ආධාර අනුබල දීම සහ ආයුධ ලබාදීම සිදුකර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් තිදෙනා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පසුවෙති. ලෝකයේ ඕනෑම රටක සිටින අමෙරිකානුවන් ඉළක්ක කර ගනිමින් සිදුකරන ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව යුක්තිය ඉටු කිරීම සඳහා එම නඩු පැවරීම සිදුකරඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.