දයාසිරිට කොවිඩ් වැළඳී ඇත්තේ කුරුණෑගල මහජන හමුවකින්

 ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් – 19  ආසා දනය වූ බවට හඳුනා ගෙන ඇති රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට එම වෛරසය වැළඳී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පසුගියදා (04) පැවැත්වූ මහජන හමුවකින් බව සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.

එම ජනහමුවෙන් පසු දයාසිරි අමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන කිහිපයකම සංචාරය කර ඇති බවත් වාර්තා වෙයි. එම මහජන හමුව සඳහා 1000 ක් පමණ වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පිරිසක් සහභාගී වී ඇති අතර එයින් 3 දෙනෙකුම කොවිඩ් – 19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් අමාත්‍යවරයාගේ තොරතුරු මත අනුමාන කරන්නේ කොළඹ ප්‍රදේශයෙන් නොව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම වෛරසය අමාත්‍යවරයාට ආසාදනය වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එදින උදේ 8 සිට සවස 4.30 දක්වා එම මහජන හමුව පැවැත්වූ බවත් කුමන ආකාරයකින් මෙම වෛරසය ආසාදනය වුවාද යන්න පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

මේ අතර පසුගිය(05) වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් Own e Tutor නමැති අධ්‍යාපන ආයතනය විවෘත කිරීමේ උත්සවයකට ද අමාතවරයා සහභාගී වී ඇත.
ඒ අනුව එම උත්සවයට එදින සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු අමාත්‍යවරු කිහිපදෙනෙකුටම covid – 19 වෛරසය ආසාදනය වී ඇති බවට  සෞඛ්‍ය අංශ සැක පළකරයි.

මේ වන විට දයාසිරි අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන් සහ රියදුරු ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර අමාත්‍යවරයාගේ කුරුණෑගල සහ කොළඹ නිවෙස් හුදකලා කර ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ දයාසිරි අමාත්‍යවරයා මෙම වර්ෂයේ පසුගිය (5) වැනිදා සිට මේ දක්වා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි.

කොරෝනා ආසා දනය වී ඇති බව දයාසිරි ජයසේකර මහතා තමන්ට දැනුම් දුන් පසුව පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර බැලූ බවත් එහිදී දයාසිරි ජයසේකර මහතා පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවට තහවුරු වූ බවත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙතෙක් ගැටලුවක් මතුව නොමැති බව ද ඔහු පැවසීය. කොරෝනා ආසා දනය වූ බවට තහවුරු වීමෙන් පසුව තමන් හික්කඩුව ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.