මේක පුද්ගලවාදී නොවූ වැඩපිළිවෙලක්

2021 නව වසර සමඟ විපක්‍ෂයේ කාර්ය භාරය කෙබදු ද ? යන්න මෙන්ම සමඟි ජනබල වේගයේ ඉදිරි සැලසුම් පිළිබදව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සමඟ අප සිදුකල සාකච්චාවකි මේ.

  • අශන්ති වරුනසුරිය

පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ පිළිවෙල මේවන විට කොතනද ?

මෙවසරේදී පක්‍ෂය වඩාත් ශක්තිමත් කිරීමට අදාළ පියවර ගැනීමට අදාළ වැඩ කටයුතු කරගෙන යනවා. එහිදී බිම් මට්ටමේ සංවිධාන ජාලය සකස් කිරීම, එයට අදාළ ආසන සංවිධායකවරු දිස්ත්‍රික් සංවිධායකවරු වශයෙන් බිම් මට්ටමේ ජන්දපොල මට්ටමේ සංවිධාන ජාල ගොඩ නැගීම, සාමාජිකයන් බදවා ගැනීම වගේම අනුබද්ධ සංවිධාන සමඟ එකතු වීම් මෙන්ම පක්‍ෂයේ නිලධාරීන් පත් කිරීම් යන සියල්ල මේවසර මුල් කාර්තුවේදී සකස් කර අවසන් කරනවා.

සමඟි ජන බලවේගය කියන්නේ පක්‍ෂය. සමඟි ජන සංධානය කියන්නේ අපේ පොදු පෙරමුණ. මෙකී පොදු පෙරමුණට මේ වන විට විවිධ පක්ෂ එකතු වෙමින් සිටිනවා. මිත්‍ර පක්ෂ සමඟ ඉදිරියට පොදු වැඩපිළවෙලක් වෙනුවෙන් සටන් කරන්න අපි සුදානම්.

මෙරට තිබූ පැරණිතම පක්‍ෂයක් එක්සත්ජාතික පක්‍ෂය. ඔබල එක කඩාබිඳ දැම්මා කියලා චෝදනාවක් තියෙනවා …

යු.එන්.පී ය තමයි සමඟි ජන බලවේගය වුණේ. ඔය වගේ චෝදනා කරන්නේ එජාපය තුල ඉන්න යල් පැන ගිය පිරිස. අපිට අදාල ජනතා මතය. පසුගිය මැතිවරණයෙන් ජනතාව දුන් තීන්දුව තේරුම් ගන්න පුළුවන් නම් ඕවා කියන්නේ නැහැ. එහෙම තේරුම් ගත්තා නම් ඔවුන් සමඟි ජනබල වේගය හෝ සංධානය සමඟ එකතු වෙනවා. තේරුම් නොගන්න තාක් ඔහොම ඉදිවී. පක්ෂයක් විදියට ඉන්නවා නම් එයාලට සමඟි ජන සංධානයත් එක්ක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පක්ෂෙට බැදෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ට අපි ආරාධනා කරනවා ජනතා මතයට ගරු කරලා එකතු වෙන්න කියලා. ඔවුන්ට ඕනෑම වෙලාවක සමඟි ජන බලවේගයට එන්න පුළුවන්.

ඉදිරි මැතිවරණ වලට සුදානම කොහොමද ?

අපේ මූලික ඉලක්කය 2024 ජනාධිපතිවරණය. ඊට ශක්තිමත්ව මුහුණ දීම මෙන්ම ඊට පෙර එන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ දෙකට ද මුහුණ දීමට අදාලව කටයුතු අපි කරගෙන යනවා. පක්‍ෂ ප්‍රතිසංධානය කියලා අපි කරනෙත් මෙකී සුදානම සකසන එක.

කොරෝනා ප්‍රශ්නෙදි ඇයි එක දිගටම ආණ්ඩුව ෆේල් කියන්නේ ?

චීනෙන් මුල්වරට කොරෝනා හඳුනා ගත්තම සජිත් මහතා එදාම පාර්ලිමේන්තුවේදී කලයුතු දේ පැවසුවා. එවිට ඒ කියූ දේවල් හාස්‍යට ලක් කළා. ආණ්ඩුවේ ක්‍රියා නිසා කොරෝනා පලවෙනි පොකුර ඇති වුණා. දෙවැනි අදියරේදීත් ආණ්ඩුව කොරෝනා වසංගතය ගණන් ගත්තේ නැහැ. දැන් රටේ තත්වේ ඉතාමත් නරකයි. දැන් ආණ්ඩුව මෙය සමාජ ගත වෙලා නැහැ කියන්න උත්සහ ගන්නවා. රටේ වාසනාවකට සෞක්‍ය අංශ ගන්නාවූ ක්‍රියාමාර්ග සහ අපේ මිනිස්සුන්ට මේකට ඔරොත්තු දීමට ඇති ශක්තිය නිසාම මෙහෙම රට පැවතෙනවා. ඒ මිසක් ආණ්ඩුව කල දෙයක් නම් නැහැ. යුක්රේනයෙන් විදේශිකයන් ගෙනල්ලා කලෙත් කොරෝනා පැතිරීමක්. තව මොන කතාද ? ආණ්ඩුව ෆේල්ම තමයි

විපක්‍ෂයත් චීන විරෝධී කණ්ඩායමේද ?

අපිට පුද්ගලිකව කිසිදු රටකට එරෙහිව විරුද්ධව තර්ක විතර්ක නැහැ. අපි ලෝකය එක්ක ජිවත් වෙන්න ඕන. සමඟි ජන බලවේගය නොබෙදෙන පිළිවෙතක ඉන්නවා. නමුත් රටේ අනාගතය වෙනුවෙන් අනවශ්‍යය දේවල් ඇති කර ගැනීම යෝග්‍ය නැහැ. ආණ්ඩුව ජාතික දේපල විකුණමින් ඉන්නවා.

ගුවන් හමුදාව සතු කොටුවේ තියෙන ඉඩම චීන සමාගමකට විකුනන්න තීරණය කරලා ඉවරයි කියලා ආරංචියක් තියෙනවා. මේවගේ බොහෝ දේ තියෙනවා. දේපල විකුණගෙන කන ප්‍රතිපත්තියකට යනවා නම් එයට අපි විරුද්ධයි. ආයෝජන කරනවා නම් එය කුමක්ද කියල අපි තෝරා බේරාගෙන කල යුතුයි.

විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුවෙනවා කියලා හිතවා ද ?

අපි උපරිම දේ කරමින් ඉන්නවා. අයවැය සම්බන්දයෙන්, කොවිඩ් වසංගතය සම්බන්දයෙන් වගේම ජනතා විරෝධිව ආණ්ඩුව ක්‍රියාකරන හැම විටකදීම අපි පෙනී සිටියා. තුනෙන් දෙකට අමතරව ආණ්ඩුව සල්ලි දීලත් මන්ත්‍රීවරුන් ගන්නවා. නමුත් අපි අපේ කාර්ය කෙසේ හෝ ඉටු කරනවා. ඒවගේම ඉදිරියේදී අපි ජනතා විරෝධී ක්‍රියා වෙනුවෙන් විවිධ කණ්ඩායම්,සංවිධාන, සංධාන ඒකරාශී කරගෙන දැඩි ක්‍රියාමාර්ග වලට එළඹෙන්න සුදානම්. ඒවගේම ආණ්ඩුවේ ජනතාවාදී ක්‍රියාවන්ට අපි සහාය ලබා දෙන්නත් සුදානම්.

2021 බලාපොරොත්තු මොනවද ?

සුභාවාදිව ජනතා යහපත වෙනුවෙන්, රට වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලකට යන්න. සමඟි ජන බලවේගයේ ක්‍රියාකාරිත්වය හුදෙක් පුද්ගලයන් රැක ගැනීමට නොව රට සහ ජනතාව රැක ගැනීම උදෙසා පමණයි. 2021 දේශපාලන ව්‍යාපාරක් ලෙස ශක්තිමත් වෙමින් පක්ෂයක් විදියට ස්ථාවර වීමට අදාලව වැඩකටයුතු ද සුදානම් කරනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.