ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සතු කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ අරමුණ, සරසවි වරම් නොලබන තරුණ පිරිස රටේ සංවර්ධනයට, ව්‍යවසායකත්ව හා තාක්ෂණික වෘත්තිකයන් ලෙස දායාද කිරීමයි. මේ වන විට මෙම ආයතනය තුළින් මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය, ඉදිකිරීම්, පරිගණක ඉංජිනේරු හා අධිපීඩන තාක්ෂණ විෂයයන් ගණනාවක් හැදෑරිය හැකි අතර රොබෝ තාක්ෂණය පිළිබඳව පාඨමාලාවක් ද හඳුන්වා දී තිබේ.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවා ය.
කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයෙ වත්මන් තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරිය එහි ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරමින් කියා සිටියේ දැනට NVQ Level 5, 6 පාඨමාලා හදාරන සිසුන් 350 දෙනා අර්ධකාලීන පාඨමාලා හරහා 720 දක්වා වැඩිකිරීමට කටයුතු කළයුතු බවයි. නව NVQ Level 4 පාඨමාලා හඳුන්වා දීමත් ICT විෂය වෙනුවෙන් සිසුන් 500 දක්වා වැඩිකිරීමටත් අර්ධකාලීන කෙටි පාඨමාලා සඳහා අවුරුද්දකට සිසුන් 860ක් දක්වා වෙන්කිරීම පිළිබඳව තීරණය කෙරිණි. ආයතනයෙහි පවතින ගැටලු පිලිබද සොයාබලමින් එහි ඇති අඩු පාඩු, මානව සම්පත දියුණු කිරීම පිළිබඳවද මෙහිදී අමාත්‍යවරිය ගේ විශේෂ අවධානය යොමු විය.
එදිනම රාජ්‍ය අමාත්‍යවරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ( NAITA ) සතු ඔරුගොඩවත්තේ පිහිටි මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය හෙවත් ජපන් ටෙක් ආයතනයේ වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ද, එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූවා ය.
අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් වන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) යටතේ පවතින මෙම ආයතනය මගින් මෝටර් යාන්ත්‍රික ශිල්පී, මෝටර් විදුලි ශිල්පී, මෝටර් රථ වායු සමීකරණ ශිල්පි, ටින්කර් පෑස්සුම් ශිල්පී, මෝටර් රථ පින්තාරු ශිල්පී සහ යන්ත්‍ර ක්‍රියාකරු යන පාඨමාලා හැදෑරීමේ අවස්ථා සලසා තිබේ.
ආයතනයේ නිරීක්ෂණ කටයුතු වල යෙදෙමින්, තරුණ තරුණියන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා ඔවුනට වෘත්තීය පුහුණුව ලැබීමේ වැඩි අවස්ථා උදාකර පුහුණු අවස්ථා දෙගුණ කිරීමටත්, එහි පළමු අදියර ලෙස සවස් කාලයේ අලුතින් පාඨමාලාවක් හඳුන්වාදී ඒ සඳහා සිසුන් එකසිය පනහක ( 150 ) ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබාදුන්නා ය.
මෙම අවස්ථාවට කොරියානු තාක්ෂණික අභ්‍යාස ආතනයෙ සහ මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයෙ පාලනාධිකාරිය ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී විය.