ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත ඉල්ලා ජනාධිපති ඉන්දීය අගමැතිට ලිඛිතව දන්වයි

ඉන්දික ශ්‍රී අරවින්ද

ශ‍්‍රී ලංකාවේ භාවිතයට වඩාත් සුදුසු වන්නේ අප අසල්වැසි රට වන ඉන්දියාවේ නිපදවූ ඔක්ස්ෆර්ඩ්හි පර්යේෂණය කළ ඇස්ට්‍රොසෙනිකා (Oxford Uni-Astrazenica)  එන්නත බවත් එම එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා අවසන් මට්ටමේ පවතින බව කොවිඩ් – 19 එන්නත්කරණ කමිටුව පවසයි.

එම කමිටුවේ සභාපති ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ එම එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුකත්වය ලබා දෙන ලෙසයි.

ඒ අනුව ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත එම  එන්නත බවත් එය ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම ද මේ වෙන විට අවසන් බවත් වීරතුංග මහතා සඳහන් කරයි. මෙරටට දෙදින නිල සංචාරයකට පැමිණ ඇති ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් මහතාටද මේ සම්බන්ධව අවධානයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඇමරිකාවේ ෆයිසර් එන්නත 94.5%ක සාර්ථකත්වයකින් යුක්ත වුවත් එන්නතක් ඩොලර් 20ක මිල හා -70 ක උෂ්නත්වයේ ගබඩා කිරීමට සිදුවීම හේතුවෙන් මෙරට භාවිතය අපහසු බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව ඇස්ට්‍රොසෙනිකා (Oxford Uni-Astrazenica) එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර හැකි වන බවත් ඇමෙරිකානු ඩොලර් 03කට පමණ මිලදී ගත හැකි එම එන්නතෙහි සාර්ථකත්වය 90% බවත් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු  ඇති   බව කොවිඩ් – 19 එන්නත්කරණ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ මෙරටට වඩාත් යෝග්‍ය කුමන එන්නතද යන්න පිළිබඳව සැකසු මුලික වාර්තාවක් අද (06) දින හෝ හෙට (07) දින කොවිඩ් – 19 එන්නත්කරණ කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතව ඇති බවයි.

ඇස්ට්‍රොසෙනිකා (Oxford Uni-Astrazenica) එන්නතට අමතරව චීනයේ නිෂ්පාදිත එන්නත පිළිබඳවත් රජයේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධවත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොවැක්ස් පහසුකම යටතේ රටට ගැලපෙන කොවිඞ් එන්නතක් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදන සමාගම සමග ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.