කොවිඩ් මර්දන එන්නත මෙරටට ලබාදීම ප්‍රමාද වෙන ලකුණු ?

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් -19 මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙරටට ප්‍රථම අධියර යටතේ ලබා සුදානම් වූ කොවැක්ස් (Cowax) සංවිධානයේ එන්නත සායනික පරීක්ෂණ සිදුකර නොමැති නිසා එය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදානම් නොමැති බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත ලිඛිතව දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම එන්නත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සුදානම කෙසේද? යන්න පිළිබඳව විමසා   පසුගිය නොවැම්බරයේදී එවනු ලැබූ ලිපියට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය එලෙස දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

එහිදී කොවැක්ස් (Cowax) සංවිධානයේ එන්නත මෙරට ජනගහනයෙන් 20% පමණ ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හරහා ලබා දීමට සුදානමින් සිටිය අතර සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ මෙම පිළිතුරු ලිපිය නිසා එම එන්නත් මාත්‍රා තොගය මාලදිවයිනට ලබා දීමට කටයුතු කර ඇත.

ඊට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නැවත කරනු ලැබූ ඉල්ලීමකට අනුව ලබන මාර්තු මසදී එම එන්නත් මාත්‍රා තොගය ලබාදීමට එකඟතාවය පළකර තිබේ. එහි ප්‍රථම අවස්ථාවේදීම මේ සම්බන්ධව නිසි පරිදි දැනුම් දීමට සෞඛ්‍ය අංශ ක්‍රියා නොකිරීම නිසා එම ක්‍රියාවලිය යළි මුල සිටම ආරම්භ කිරීමටසිදුව ඇත.

මේ හේතුව නිසා ලබන මර්තුවට පෙර මෙම කොවැක්ස් (Cowax) සංවිධානයේ එන්නත ලබා ගැනීමට හැකියාව පැවතියත් මෙරට සෞඛ්‍ය අංශ නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා ශ්‍රී ලංකාවට එම එන්නත් ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රමාද කර ඇති බව සඳහන් වෙයි.

මේ හේතුව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් එන්නත් ලබා දීමේ පොරොත්තු ලේඛණයේ ප්‍රමාද වී ශ්‍රී ලංකාව ලේඛණගත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය කිරීමේ අමාත්‍ය චන්න ජයසුමන මහතාට ද සෞඛ්‍ය අංශ බලධාරීන් දැනුවත් කර ඇත.

මේ පිළිබඳව Colombo Gazette කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක (මහජන සෞඛ්‍ය සේවා) ලේකම් ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ප්‍රකාශ කළේ එම අවස්ථාවේදී කොවැක්ස් (Cowax) සංවිධානයේ එන්නතෙහි සායනික පරීක්ෂණ සිදු නොවී තිබු බවත් මේ වන විට ශ්‍රී ලංකාව ඒ සඳහා සුදානම් බවත් දන්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ලබන මාර්තු 1 වැනිදාට එම එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.
එහෙත් මෙම එන්නතේ ක්‍රියාකාරිත්වය 92%ක් වන අතර එහි ජානමය වෙනස්කම් 8%ක් පමණ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක (මහජන සෞඛ්‍ය සේවා) ලේකම් ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.