ඊස්වරන් රත්නම්
සතියකට පසුව එන්නත ලබාගත් කාන්තාවකට කොරෝනා වෛරසය ධනාත්මක වීම වාර්තා වීමත් සමඟ ෆයිසර් එන්නත ට විවිධ විවේචන චෝදනා එල්ල වුවත් ඒවා ප්‍රතික්ෂේප කරමින් මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඕනෑම එන්නතක් අසාර්ථක වීමේ සුළු ප්‍රතිශතයක් ඇති බවය. එමෙන්ම වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ෆයිසර් සහ අනෙකුත් එන්නත් පිළිබඳව විවෘත මනසකින් බලා සිටින බවත් හොඳම එන්නත පිළිබඳව ඉක්මනින් තීරණය කරන බවත්ය.
හේමන්ත හේරත් මහතා ඊයේ (සිකුරාදා) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අනෙකුත් වෛරස් සඳහා නිකුත් කරන එන්නත් වල ද සුළු අසාර්ථක අනුපාතයක් ඇති බවයි.
ෆයිසර් එන්නත සහ අනෙකුත් සියලුම එන්නත් වල අසාර්ථක ප්‍රතිශතයන් සඳහන් වන බැවින් ඒවා අපේක්ෂා කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබේ. එම සංවිධානය සඳහන් කළේ මෙලෙස ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නතෙහි වලංගු භාවය ප්‍රකාශයට පත් කිරීම තුළින් එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ කි‍්‍රයාවලීන් කඩිනම් කිරීමට රටවල්වලට අවස්ථාව හිමි වන බවය.
සංවර්ධනය වෙමින් පවතින රටවලට එම එන්නත පහසුවෙන් ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායනය ද ප්‍රකාශ කල අතර කොවිඞ් මර්දන එන්නතක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව, බහරේන් සහ කටාර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක් භාවිත කරනු ලබයි.
ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත ලබා ගන්නේ නම් සැපයුම් කටයුතු සඳහා වන පිරිවැය පිළිබඳව විමසූ විට වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවයට ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය දෙන බවත් අනෙකුත් කරුණු ද්විතීයික බවත්ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ක්ෂුද්රජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහතා පැවසුවේ පවතින වාර්තා මත පදනම්ව ෆයිසර් හොඳම එන්නත බවයි. ෆයිසර් මාත්‍රා දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් 40 ක් ද අනෙක් හොඳම විකල්පය වන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සඳහා මාත්‍රා දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් 7 ක් ද වැය වන බව ඇය පැවසුවාය.