ලංකාවේ ජනගහනයෙන් මිලියනයකටම කොවිඩ් මරණ 9ක්

අශන්ති වරුනසුරිය

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වේගය සැලකිල්ලට ගැනීමේදී මෙරට ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් ආසාදිතයින් 1,886 දෙනෙකු හඳුනාගැනෙන බවත් ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් ආසාදිත මරණ 09ක් සිදුවීමේ සම්භාවිතාවක් පවතින බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

පසුගියදා මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 200 සීමාව පසු කළේය. මරණ අතරින් 191 ක්ම අයත් වන්නේ ඔක්තෝබර් දෙවනදායින් ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ලටය.

කොවිඩ් දෙවන රැල්ලේ මරණකරුවන්ගේ වයස් සීමා සැලකීමේදී වැඩිම පිරිසක් අයත් වන්නේ වයස අවුරුදු 71 ඉක්මවූ කාණ්ඩයට වන අතර එම මරණ ගණන 91ක් වන අතර වයස අවුරුදු 9 ට අඩු එක් බිළිඳෙක්,වයස අවුරුදු 10 ත් 30 ත් අතර සිව්දෙනෙක්, වයස අවුරුදු 31 ත් 40 ත් අතර පස්දෙනෙක්,වයස අවුරුදු 41 ත් 50 ත් අතර 21 දෙනෙක් සහ වයස අවුරුදු 51 ත් 60 ත් අතර තිස් එක්දෙනෙක් මියගොස් තිබේ.

වයස අවුරුදු 61 ත් 70 ත් අතර ජීවිතක්ෂයට පත්ව ඇති ගණන 38 කි. මෙරට කොවිඩ් මරණ සිදුවන ආකාරය පිළිබඳ සැලකීමේදී ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ 09 ක් සිදුවීමේ අනුපාතයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.

දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවල කොවිඩ් මරණ අනුපාතය පවතින්නේ ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ 89කි. ගෝලීය තත්ත්වය සැලකිමේදී එය සෑම මිලියනයකටම මරණ 9 ක් ලෙස දැක්වේ.

දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය පවතින්නේ ජනගහනයෙන් සෑම මිලියනයකටම ආසාදිතයින් 5859 ක් ලෙසය. ගෝලීය තත්ත්වය සැලකිමේදී එය සෑම මිලියනයකටම ආසාදිතයින් 522 ක් ලෙසටය.

මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් අද දහවල් සිට හුදකලා තත්ත්වය ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම තවත් කොවිඩ් මරණ 4ක් ඊයේ වාර්තා වී වීමෙන් මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් තිබේ. අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දර්ගා නගරයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.