2021 සමස්ත ජනතාවට සුභ නව වසරක් වේවා !

ලැබුවාවූ 2021 වසර සමස්ත ලක්වාසී ජනතාවට සුභ නව වසරක් වේවා යැයි Colombo Gazette අප ප්‍රාර්ථනා කරමු.

උදා වු 2021 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. නමුත් මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් නව වසර සැමරීම ලංකාවේ මෙන්ම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමි වී තිබුණි.

2021 වසර පළමුවෙන් උදාවුණේ පැසිෆික් දූපත් වන කිරිබාටි සහ සමෝවා දූපත්වලටය. අනතුරුව නවසීලන්ත වැසියන්, උදාවූ නව වසර මහත් උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය. ඒ සුපුරුදු අයුරින්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ස්කයි කුලුන ආශ්‍රිතව අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වමිනි. නව වසර පිළිගැනීමට ඔක්ලන්ඩ් හිදී වර්ණවත් ලේසර් ආලෝක සංදර්ශනයක්ද පැවැත්විය.

මීළඟට 2021 වසර පිළිගත්තේ ඔස්ට්‍රේලියානු ජනතාවය. සුප්‍රකට සිඩ්නි වරාය පාලම සහ ඔපෙරා රඟහල ආශ්‍රිතව ඔවුන් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්විය.

ජනාධිපතිගේ නව වසරේ පණිවිඩය

නව වසර උදාවුයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක්කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිව බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

නව වසර උදාවත් සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇති බවට තමාට දැඩිව විශ්වාස බව ජනාධිපතිවරයා පවසයි. එමෙන්ම ලැබූවා වූ නව වසර සමස්ත ජනතාවටත් දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උදාවන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසරට සුබ පැතුම් එක්කරමින් සඳහන් කර ඇත්තේ, 2021 වසර සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට, නිරෝගී සුවය ලැබෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම කෙරෙහි තැබු යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා යන්නය.

සියලු අභියෝග හමුවේ සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය දුර්වල වීම වළක්වාලමින් විධිමත් ලෙස කළමනාකරණය කරමින්, ජනතා අපේක්ෂා යථාර්ථයක් බවට පත්කිරීමට වර්ථමාන රජය ගෙන යන වැඩපිළිවෙලට දායකත්වය ලබාදුන් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුදකරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව වසර සුභාශිංසනය ..
සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන 2021 නව වසරට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘභූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරමු.
නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවද එම කාලය ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් යෙදවීමට හැකිවීම අභිමානයකි. වසර පහක කාලයක් ඇණහිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණ දීමට අපට හැකිවිය. මැදහත්ව ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකිය.

ලොව අන් සියලු රටවල් මෙන්ම කොවිඩ්-19 වයිරසයේ අභියෝගයට අප ද මුහුණ දෙමින් සිටියි.
වයිරසයේ බලපෑම අවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල විසි හතර පැයේ නිරත මෙහෙවර අපමණය. රජය කොව්ඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි උපරිම මැදිහත්වීමට දායක වී සිටියි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් රජයට ලැබෙන සහයෝගය ද සුළුපටු නැත.

නව වසරේ රට හමුවේ ඇති මෙම අභියෝග එක්ව ජයගත හැකිය. දේශීයත්වයට මුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රට තුළ ඇතිවන බව ස්ථීරය. ඒ තුළ ඔබගේත් රටේත් අනාගතය සුභවාදීව දියුණුවන සෞභාග්‍යමත් දේශයක් උදාවනු ඇත. ඉතා ලඝු වූ කාරණා අරඹයා තවදුරටත් අප බෙදී වෙන්වී සිටිය යුතු නැත.

අද අප මෙම මාතෘභූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඒ නිසා සමාජයීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩනැගීමට එළැඹෙන මෙම නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
අභිමානවත් ශ්‍රී ලාංකික සියලු ජනතාවට නිරෝගීමත් සුබ නව වසරක් වේවා ! යි ප්‍රාර්ථනා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.