චීනෙ නිසා අනාථ වු මෙරට ශ්‍රම බලකාය

ඉන්දික ශ්‍රී අරවින්ද

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 15.7ක් බව ශ්‍රම බල සමීක්ෂණයෙන් හෙළිව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් වයස අවු. 15 හා ඊට වැඩි ජනගහනය වැඩ කරන වයසේ පසුවන ජනගහනය ලෙස සලකනු ලැබේ.

එයින් මිලියන 1.1 පිරිසකට කිසිදු රැකියා අවස්ථාවක් නොමැතිව සිටින බවයි තරුණ රැකියා වියුක්තිය සම්බන්ධ එළිදැක්වූ වර්තාවක සඳහන් වෙයි.

එහෙත් විදේශ ණය ආධාර මත සිදු කෙරන බොහෝමයක් ව්‍යාපෘති සඳහා විදේශයෙන් පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නිසා මෙරට ශ්‍රම බලකායට දැඩි බලපෑමක් එල්ල කරයි.

මෙයට බෙහෙවින්ම බලපා ඇත්තේ එම රටවල් විසින් ණය ආධාර ලබා දීමේදී අත්සන් කරනු ලබන ගිවිසුම් වලට අනුව එරට ශ්‍රම බලකායට අමතරව අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර,අමුද්‍රව්‍ය මෙන්ම අවශ්‍ය වාහනත් එම රටවලින්ම ආනයනය කිරීමයි.

මෙරටට ලබා දෙන සෑම ණය ආධාරයකම ප්‍රධාන කොන්දේසිය වන්නේ අදාල ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ටෙන්ඩරය මෙන්ම ශ්‍රම බලකායත්,අවශ්‍ය අමුද්‍රව්‍යත් එම ණය ආධාර ප්‍රදානය කරනු ලබන රටින් සපයා ගැනීමයි.

ඒ අනුව මෙරටට ලබා දෙන ණය ආධාර මුදලින් සියයට 90%ක්ම යළි එම ණය ආධාර ලබා දෙන රටම ලබා ගැනීමේ සුක්ෂම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

මෙම වැඩපිළිවෙල මෙරට බලයට පත්වෙන සෑම රජයක්ම හොදාකාරවම දන්නා නමුත් ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ වන්නේ කෙසේ හෝ ණය ආධාරය ලබා ගැනීම නිසාය.
මේ සඳහා ප්‍රමාණයටත් වඩා වැඩිපුරම මැදිහත් වීම් සිදු කරන්නේ චීන රජයට සම්බන්ධ අනුබද්ද චීන සමාගම් වන අතර එම ණය ආධාරය බලහත්කාරයෙන්ම ලබා දීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහයෝගය මත අත්සන් කෙරෙන එම අවබෝධතා ගිවිසුම් කිසිම අවස්ථාවකදීවත් සංශෝධනයකින් තොරව කොන්දේසි සහිතව ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වෙයි.

එම නිසා මෙරට ඉදිකෙරෙන මහා පරිමාණ සෑම ව්‍යාපෘතියකටම අවශ්‍ය ශ්‍රම බලකාය එම රටවලින් සපයා ගැනීම නිසා මෙරට රැකියා වියුක්තිය ඉහළ යමින් පවතී.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ පිරිසක් මෙරට සිටියදී මෙලෙස වෙනත් රටවලින් ශ්‍රම බලකාය සපුරා ගැනීම නිසා මෙරටට ලැබෙන විදේශ ණය අධාරයන්හි යම්කිසි ප්‍රමාණයක් යළි රටින් බැහැර කිරීම නිසා මෙරට විදේශ සංචිතයටද යම් බලපෑමක් එල්ල වනු ඇත.

මෙරට මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල කැපී පෙනෙන රටවල් වන්නේ චීනය සහ ඉන්දියාව වන අතර එයින් බහුතරයක්ම චීන රජයට අනුබද්ධ සමාගම් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මේ වනවිට චීන ජාතිකයින් 4000කට අධික පිරිසක් කම්කරුවන් ලෙස මෙරටට පැමිණ ඇති අතර ඔවුන් කොහෙද ඉන්නේ,මොනවද කරන්නේ යන කිසිම සංඛ්‍යා ලේඛණයක් රජය විසින් මේ වන විටත් ඉදිරිපත් කර නොමැති බවයි.

මේ සම්බන්ධව සම්පුර්ණ වගකීම රජය සතු වන බැවින් ඔවුන්ගේ පැමිණීම මෙරට ශ්‍රම බලකායට බොහෝ විට බලපෑමක් එල්ල වී ඇති අතර එය රජය විසින් මැදිහත්ව සිදුකළ යුතු කාර්යක් බව වසන්ත සමරසිංහ මහතා පවසයි.

හිටපු කම්කරු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ තමා කම්කරු අමාත්‍ය ධුරය දැරූ කාලය තුළදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා කම්කරුවන් ගෙන්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස චීනය සහ ඉන්දියාව විසින් ඉල්ලීම් කෙරුණත් ඒ සඳහා තමා අවසරය ලබා නොදුන් බවයි.

එලෙස අවසරය ලබා දීමෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන්ට රැකියා අවස්ථාව අහිමි වෙන බවට එකල පැවති රජයට පෙන්වා දී ඇත.

මේ සඳහා අවසර ලබා දීම තුළින් මෙරට පවතින රැකියා වියුක්තිය වැඩි වන බවත් එය පාලනය කිරීමට නම් විදේශ රටවලින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නතර කලයුතු බවත් කම්කරු අමත්‍යවරයා ලෙස එම ක්‍රියාව අනුමත නොකරන බවයි.

එහෙත් තමා එයට එරෙහිව ක්‍රියා කළත් මෙරට චීන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කම්කරුවන් ආයෝජන මණ්ඩලයේ (BOI) මැදිහත්වීම මත ගෙන්වා ගැනීමට එම චීන සමාගම් ක්‍රියා කර ඇති බව සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්හ.

ඇතැම් චීන ව්‍යාපෘති වන වරාය මෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෙන්වන චීන ජාතිකයින් ප්‍රමාණයට වඩා ව්‍යාජව සංචාරක විසා බලපත්‍ර මගින් ගෙන්වා ගෙන එම රැකියාවන්වල යොදවන බව හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ප්‍රකාශ කළේ මෙරට සිදු කෙරෙන බොහෝමයක් ව්‍යාපෘති විදේශ ණය ආධාර මත සිදුවෙන බැවින් ඒ සෑම ව්‍යාපෘතියක්ම ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මකව සිදු වෙන නිසා ඒ සඳහා කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත්වීමක් නොවන බවයි.

එහෙත් ඒ සෑම විදේශීය ශ්‍රමිකයෙක්ම මෙරට කම්කරු නීතියට යටත්ව කටයුතු කෙරෙන අතර ඇතැම් පිරිස් සඳහා අර්ථ සාධක අරමුදලට පවා යටත්වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පැවසීය.

උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සුරියආරච්චි මහතා ප්‍රකාශ කළේ පසුගිය වසර වනවිට මෙරට රැකියා නොමැති පිරිස ලක්ෂ 10කට වැඩි බැවින් ඒ සඳහා රජය වැඩපිළිවෙළක් සකස්කරනවා වෙනුවට විදේශයන්හි කම්කරු ශ්‍රමිකයින්ට ඒ අවස්ථාව ලබා දීම අවාසනාවන්ත තත්වයක් බවයි.

පවතින හැම ආණ්ඩුවක්ම ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම් අත්සන් කිරීමේදී එම රටවලින් කම්කරුවන් මෙරටට ගෙන ඒමට අවස්ථාව ලබා දීම තුළින් ඒ රටවල රැකියා ප්‍රශ්නය විසදෙන අතර අපේ රටේ රැකියා විරහිතභාවය එලෙසම පවතී.

විශේෂයෙන්ම චීනය මෙන්ම ඉන්දියාවත් මෙරට ණය ආධාර මත ආරම්භ කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා කලින් ඉහළ මට්ටමේ කළමණාකාරීත්වයට (Top Manegmant) එරටින් ශ්‍රම බලකාය රැගෙන එනු ලැබුවත් මේ වන විට එය සාමාන්‍ය කම්කරුවන් දක්වා ද එම අවස්ථාව ලබා දී තිබේ.

මේ නිසා මෙරට තරුණ රැකියා අපේක්ෂාවන්ට බංගත්වයට පත්ව ඇති අතර මේ සම්බන්ධව හැම අයවැයකදිම විසදුම් ලබා දීමට පවතින හැම රජයක්ම අපොහෝසත් වී ඇති බව සුරියආරච්චි මහතා පෙන්වා දෙයි.

ඇතැම් අවස්ථාවලදී අත්සන් කෙරෙන ණය ආධාර ගිවිසුම් එළියට පෙනෙනවාට වඩා නොපෙනන කොටසක් මගින් මේ රැකියා අවස්ථාවන් මෙරටට අහිමි වී යන බව ඔහු පවසයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රාජ්‍ය ඉංජිනේරු සේවා සේවක සංගමය පවසන්නේ චීනය විසින් ලබා දෙන සෑම ණය ආධාරයකම කොන්දේසි වන්නේ අදාල ඉදිකිරීමේ ටෙන්ඩරය චීනයට අනුබද්ධ ඉදිකිරීම් සමාගමට දියයුතු බවත් ඊට අවශ්‍ය ශ්‍රම බලකාය එරට ජාතිකයින් වීමත්ය.

එම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සේවකයින් සහ රියදුරන් පමණක් මෙරටින් සපයා ගැනීම අදාල සමාගම්හි අරමුණ වෙයි.

මේ වනවිට කොළඹ ප්‍රදේශයේ මහා පරිමාණ චීන ව්‍යාපෘතිවලින් සියයට 80%ක්ම චීන රජයට සම්බන්ධ සමාගම් විසින් සිදු කෙරෙන බැවින් එයින් සුළු රැකියා අවස්ථා ප්‍රමාණයක් පමණයි මෙරටට හිමිව ඇත්තේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට වසරකට රුපියල් බිලියන 15 ක පමණ ඉදිකිරීම් කිරීමේ හැකියාවක් පැවතුනද රාජ්‍ය මැදිහත්වීම මත එය නොලැබීමේ තත්වයක් මතුව ඇත.

ඉංජිනේරු සංස්ථාව සතු සේවකයෝ 3000කට ආසන්න ප්‍රමාණයක් සිටියද එම චීන ණය ආධාර මත සිදුවෙන කිසිම ව්‍යාපෘතියක කොටසක් හෝ ලබා දීමට රජය ක්‍රියා නොකරන නිසා අද වනවිට පාඩු ලැබීමේ තත්වයට පත්ව තිබේ.

2018 වසරේදී රුපියල් මිලියන 1400ක්ද,2019 වසරේ රුපියල් මිලියන 900ක්ද,2020 වසරේ මාස 8ට රුපියල් මිලියන 500ක්ද වශයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වනවිට සමස්ත පාඩුව රුපියල් මිලියන 31,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

එවන් පසුබිමක් තුළ විදේශ ආයෝජන මත මෙරට සිදු කෙරෙන කිසිදු ඉදිකිරීමක් ඉංජිනේරු සංස්ථාවට ලබා නොදීම නිසා තවදුරටත් පාඩු ලැබීමේ තත්වය ඉහළ යමින් පවතින බව එම සේවක සංගමය පවසයි.

මේ තත්වය මත මේ වසර තුළදී මහ භාණ්ඩාගාරයෙන් තවත් රුපියල් බිලියන 2ක ණය ලබාගෙන සේවක වැටුප් ගෙවා ඇති අතර එම මුදල් පියවීම රජයේ ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් කිරීමට සිදුව ඇති බව රාජ්‍ය ඉංජිනේරු සේවා සේවක සංගමය පවසයි.

අනිවාර්යෙන්ම මේ සඳහා රජය මැදිහත්වී අදාල ව්‍යාපෘතිවලින් කොටසක් හෝ ලබා දීමෙන් මෙම සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් ඇත.

මෙරට සැලකිය යුතු මහා පරිමාණ ඉදිකිරීම් ප්‍රමාණයක් චීන සමාගම් හෝ චීනයට අනුබද්ධ සමාගම් විසින් සිදු කරනු ලබයි.

හම්බන්තොට ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන ටයර් කර්මාන්තශාලාවට අවශ්‍ය ශ්‍රම බලකායද චීනයෙන් ගෙන ඒමටද ආයෝජන මණ්ඩලය (BOI)හරහා රජය අවසරය ලබා දී ඇති බවට දැනගන්නට තිබේ.

අපි චීනයෙන් ගන්නේ ණය ආධාරයක් නම් අපි එය පොලියත් සමග ගෙවීමට බැඳී සිටි නම් ඇයි එම ව්‍යාපෘති අපිට ඕන විදිහට කරන්නේ නැතිව ඒ ඒ රටවලට ඕන විදිහට කරන්නේ කියන එක පිළිබඳව ගැටළු සහගත තත්වයකි.

චීනය විසින් ලබා දෙන ණය ආධාර ගිවිසුම්හි කිසිදු කොන්දේසියක් යළි සංශෝධනයක් සිදු නොකෙරෙන අතර එහි ව්‍යාපෘති වාර්තාවද ඔවුන් විසින්ම සකස්කර දෙමින් එම ව්‍යාපෘතිය ඔවුන්ගේ අභිමතය පරිදි සිදු කරයි.

ඒත් මෙම කොන්දේසි කිසිම අවස්ථාවක චීනය විසින් කියුබාව,දකුණු කොරියාව,වියට්නාමය යන රටවලට පනවනු නොලබන්නේ එරට රජයන් ඒවා ප්‍රතික්ෂේප කරන නිසාවෙනි.

එත් අපේ රටේ පාලකයන්ට වඩා ජනතාවට නොතේරෙන්නේ මන්ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින අතර පාලකයන් පත්කර යවනු ලබන්නේ මහජනතාව විසින් නිසා බව රාජ්‍ය ඉංජිනේරු සේවා සේවක සංගමය වැඩිදුරටත් පවසයි. (Colombo Gazette)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.