නව වෛරස් ප‍්‍රභේදය සොයා ලංකාවත් පරීක්ෂණ අරඹයි

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින් දැනට වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ශ‍්‍රි ලංකාවට ද පැමිණ ඇත්දැයි සොයා, විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කොරෝනා ආසාදිතයින්ට ලොව පුරා පැතිරෙන එහි නව ප‍්‍රභේදය ආසාදනය වී ඇත්දැයි සොයාගැනීමට නම් වෙනම විශේෂ ජානමය පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔවුන්ගේ අදහස වේ.

ලොව පුරා මේවනවිට කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේද දෙකක් ව්‍යාප්ත වෙමින් පවති. එක් ප‍්‍රභේදයක් එංගලන්තයෙන් ද, අනෙක් ප‍්‍රභේදය දකුණු අපි‍්‍රකාවෙන් ද හඳුනා ගැනුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය මේවනවිට ලොව රටවල් 23 කින් පමණ හඳුනාගෙන තිබේ. යුරෝපා රටවල් අතරින් එම වෛරස් ප‍්‍රභේදය හඳුනාගෙන ඇත්තේ නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ප‍්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්විඩනය, ෆින්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, අයිස්ලන්තය හා බෙල්ජියම යන රටවලින් ද සිංගප්පූරුව, ජපානය, හොංකොං, දකුණු කොරියාව, ඉන්දියාව හා පකිස්තානය යන ආසියානු කලාපයේ රටවලින් ද නව වෛරස් ප‍්‍රභේදය වාර්තා විය.

ඊශ‍්‍රායලයෙන් සහ ලෙබනනය යන මැදපෙරදිග රටවල් වලින්ද ඔස්ටේ‍්‍රලියාවෙන් ද මේ වනවිට කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේද ආසාදනය වූ පුද්ගලයින් ද එංගලන්තය හා දකුණු අපි‍්‍රකාව යන රටවල් දෙක තුළම ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා නව වෛරස් ප‍්‍රභේද මේවනවිට ඔස්ටේ‍්‍රලියාවෙන් හඳුනාගෙන තිබේ.

මෙම නව ප‍්‍රභේදය නිවැරදිව හඳුනා ගැනීම ශී‍්‍ර ලංකාව වැනි රටකට අතිශය වැදගත් බවත් නව ප‍්‍රභේදය මේ වන විට ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සොයා ගැනීම සඳහා බි‍්‍රතාන්‍යයෙන් පැමිණි සිටින ඉලක්ක ගත ආසාදිතයින්ගේ සාම්පල ලබාගෙන ඇති බවත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.