වාරේ සිරිපා කරුණාව සෞඛ්‍ය උපදෙස් පරිදි

අශන්ති වරුනසුරිය

උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් අදින් ආරම්භ වේ.

මෙවර සිරිපා වන්දනා සමයත් අදින් ආරම්භ වන අතර පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර සිරිපා වන්දනාව සීමිත පිරිසකට පමණක් සීමාකර ඇත.

අදට යෙදී ඇති උඳුවප් පුර පසලොස්වක පොහොය දින බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකේ.
මෙරට භික්ෂුණී ශාසනය බිහිකිරීම මෙන්ම ශ්‍රී මහ බෝධින් වහන්සේ මෙරටට වැඩමවීම සිදුව ඇත්තේ ද අද වැනි උතුම් පුන් පොහෝ දිනකය. එමෙන්ම තවත් ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මේ උතුම් උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේ සටහන් වී ඇත.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ පෙරටුකර ගනිමින් අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදිකරවා මෙරට භික්ෂුණී ශාසනය පිහිටුවීම ද සිදුවුණේ මෙම උතුම් පොහොය දිනයේය. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සෞඛ්‍ය අංශ ලබා දි ඇති උපදෙස් අනුව සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතව සිටියි.

සිරිපා කරුණාවේ ආරම්භය සනිටුහන් කරමින්, පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රථිමාව හා දේවාභරණ පෙරහැරින් සිරිපා මළුව දක්වා වැඩම කරවීම ඊයේ (28) සිදුකෙරිණි.

සුබ නැකතින් චාරිත්‍රානුකූලව ශ්‍රී පාද වන්දනා සමය අද සිට ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පැවසුවේය.

මෙවර ශ්‍රී පාද පෙරහැර මාර්ග 4ක් ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ළඟා වුණේ සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ලබා දුන් උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙනි. නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ පා ගමනින් වැඩම කරවීම ලක්‍ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙබලුන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මේ අතර ශ්‍රී පාද වන්දනාවට එක්වන පිරිස් සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ලබා දී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.