මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන වාර්තාවක් සකස් කර භාරදුන් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තමන් වෙත භාරදුන් වගකීමක් අනුව තමන් විසින් එම කටයුත්ත සිදු කළ බවද ඔහු පැවසීය.
තමන් විසින් අදාළ කාර්යය භූ විද්‍යාඥයන්ට බාර දුන් පසු ඔවුන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි පරීක්ෂණ වාර්තාවක් දුන්නේ යැයි ඇමැතිවරයා පැවසීය.
මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවද පැවසූ ඇමැතිවරයා එය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුවේදී සලකා බැලිය හැකි බවද මාධ්‍ය අමතමින් කියා සිටියේය.
එහෙත් රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදිත මෘතදේහ තුළ වෛරසය සක්‍රියව පවතින බැවින් එම විෂබීජ සම්පූර්ණයෙන්ම විනාශකිරීමට මෘතදේහ ආදාහනය වඩාත් සුදුසු බවයි.
මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යාව හා පාරිසරික විද්‍යාව පිළිබඳ විශේෂඥ, මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පැවසූවේ “ප්රශ්නය තියෙන්නේ මේවා පසට එකතු වුණාම කොතරම් කාලයක් තියෙනවාද කියන එකයි. ඒ ප්‍රශ්නයට උත්තරයක් තවම ලෝකය හොයාගෙන නෑ. අපිට සියයට සියයක් විශ්වාසයි මේ මළසිරුරු ආදාහනය කළොත් වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා.” යනුවෙනි.


